වෙඩි තබාගත් එස්.එයි. ගැන අබිරහස් හෙළිදරව්වක්

පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව අධිවේගී මාර්ග රාජකාරියේ යෙදී සිට පසුගිය දා සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගත් බව කියන පොලිස් නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සංකීර්ණ කරුණු අනාවරණයක් සිදුව තිබෙනවා.

ඔහුගේ මරණ පරීක්ෂණයේදී අදහස් දැක්වූ බිරිඳ පවසා ඇත්තේ මෙම මරණය ගැන තමන්ට විශාල සැකයක් ඇති බවයි. වසර 39ක් රාජකාරියේ නියුතුව සිටි ඔහුට කිසිදු චෝදනාවක් නොතිබූ බවත් සියදිවි නසාගැනීමට කිසිදු හේතුවක් නොතිබූ බවත් ඇය පවසනවා.

මෙසේ වෙඩි තබා ගත් දිනට පෙර දින ඔහු නිවසට පැමිණ තිබෙනවා. නොච්චියාගම පොලිසියෙන් ඔහුට පණිවිඩයක් ලැබී ඇත්තේ පෑලියගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේදී ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. ඒ පිළිබඳව ඔහු බිරිඳට පවසා ඇත්තේ වාහනයක් පරීක්ෂා කිරීමේ සිද්ධියක් මෙයට හේතුව ලෙසයි.

ඔහු එක්තරා වාහනයක් පරීක්ෂා කළ බවත්, එහි පිරිමින් දෙදෙනෙක් සහ කාන්තාවක් සිටි බවත් කාන්තාව තමන්ට තර්ජනය කළ බවත් මෙම නිලධාරියා බිරිඳට පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙය තම ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් විට මෙම වාහනය නිදහස් කරන ලෙස ඔහු මිය ගිය නිලධාරියාට කියා තිබෙනවා. මේ සම්බන්ධ සටහනක් පවා යෙදීමට අදාළ නිලධාරියා ඉඩ දී නැති බවයි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් රුවන් කුමාර නම් පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ කියා ඇත්තේ.

මේ මරණය තමන්ට සැකසහිත බවත් සාධාරණ පරීක්ෂණයක් තමන් ඉල්ලා සිටින බවත් එහිදී ඇය පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles