සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ එහිම ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් 06 දෙනෙකු අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමනලවැව පොලිසිය විසින්.
පසුගිය පෙබරවාරි 09 වැනිදා රාත්‍රියේ විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේදී එම පහරදීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ. පහර කෑ සිසුන් එහි ආහාර ගනිමින් සිටියදී එහි පැමිණි තෙවැනි වසර සිසුන් ඔවුන්ට එහි ආහාර ගැනීම අකැප බව පැවසීමත් සමඟ ගැටුම හටගෙන තිබෙනවා. කොසු ආදියෙන්ද පහර දී ඇති බවයි පැවසෙන්නේ. එහිදී පහර කෑමට ලක් වූ සිසුවියක සහ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා.
එහිදී එම සිදුවීමට සම්බන්ධ සිසුන් 07 දෙනෙකු මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර මෙම සිසුන් 06 දෙනාද සමනලවැව පොලිසිය වෙත භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි සමනලවැව පොලිසිය පවසන්නේ.