විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අමාත්‍ය මනුෂ නානායක්කාර පාර්මෙන්තුවේ දී තමන් ගැන සඳහන් කළ කරුණු අසත්‍ය බවත් තමන් එසේ කිසිවිටක සඳහන් කර නොමැති බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරනවා.
එසේම එම කරුණු සම්බන්ධව ඔවුන්ට අභියෝග කරමින් රංජිත් හිමිපාණන් රජයට අවධාරණය කරන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වීඩියෝව මගින් අනාවරණය කරන කරුණු විමර්ශනයට ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් පත්කළ යුතු බවයි.
ඒ අනුව අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු තමන් පිළිගන්නේ එවැනි විමර්ශනයකින් පසුව පමණක් බවයි උන්වහන්සේ කොළඹ අගරදගුරු මැදුරේ දී ඊයේ (06) ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් පවසන්නේ.
එහි දී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ ද සඳහන් කළා.
“ඊයේ විපක්ෂ නායකතුමා ප්‍රකාශයක් කළා. මම ඔහුට විරුද්ධව ඡන්දය දෙන්න කිව්වා කියලා. මම කොහේවත් එහෙම කිව්වේ නැහැ. අභියෝග කරනවා එහෙම කියපු කතාවක් පෙන්වන්න කියලා. මැතිවරණයට නාමයෝජනා භාර දුන්නාට පස්සේ. අපේක්ෂකයෝ තුන්දෙනාටම අගරදගුරු මැදුරට එන්න දුන්නේ නැහැ. මම ගෝඨාභයට ඡන්දය දෙන්න කිව්වේ නැහැ. සජිත්ට, අනුරට දෙන්න කිව්වෙත් නැහැ. මම ගෝඨාභයට වැඩ කළා කියන මිථ්‍යාව පටන් ගත්තේ, බලගතු කතෝලික ඇමතිවරයෙක්. පස්සේ ඒ දෙන්නා කාට ද පන්දම් ඇල්ලුවේ කාගේ ඇමතිවරු හැටියට ද ඉන්නේ. ඒවා කතා කරන්න ඕනේ නැහැ. ඔවුන් දෙදෙනා මා සමඟ සාකච්ඡාවකට ආවා. මට එදා කියාපුවා අද කියන්නේ නැහැ.”
“අපි චැනල් 4 නාළිකාවට කෘතඥතාව පළ කරනවා. අපිට වැදගත් නාලිකාවේ පැරණි හැසිරීම නොවෙයි. අපේ ප්රශ්නය ගැන ඉදිරිපත් කළ කරුණුයි වැදගත්. ඉදිරියට කඩිනමින් කළ යුතු වන්නේ. චැනල් 4 ඉදිරිපත් කළ කරුණු සහ පුද්ගලයන් පිළිබඳ අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් අරඹන්න. විමර්ශනය කළ යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක්. විමර්ශනය ස්වාධීනව සිදුකිරීමට. විමර්ශනයට ලක්වන සියලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්න. රජය අපේ යෝජනා ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙනවා.නමුත් අපිට වත්මන් ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පිළිබඳ විශ්වාසයක් නැහැ.
“මුල දී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා හිතුවා. නමුත් පසුව අදහස වෙනස් කරගත්තා. රජය ඇල්මැරුණු ආකල්ප ක්‍රියාත්මක කළේ. ඔවුන්ගේ සම්බන්ධයක් තියෙනවා ද කියන සැකය ඇතිවුණා. එතකොට ජනවිඥානය කියන්න ගත්තා කුමන්ත්‍රණයක් කියලා. ජනාධිපති කොමිසම් වාර්තාවේ කරුණුත් සැකයට තුඩුදුන්නා.”