‘සනත් ජයසූරියගේ රට’ – ලෝකයා එලෙස ලංකාව හඳුන්වන තරමට අදටත් ක්‍රිකට් ලොව සනත් ජයසූරිය ‘උන්මාදයකි.’ සනත් සිය පිත්තෙන් තමන්ගේ රටේ පන්දු යවන්නන්ට හොඳ හැටි බැට දෙද්දීත් සනත් ජයසූරිය වගේ කෙනෙකුට උත්පත්තිය ලබාදීමට මවක්, ඉන්දියාවට අවශ්‍ය යැයි පවසන්නේ ඉන්දියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකි.
ඒ වාසනාව ලංකාවට නම් ලැබෙන්නේ 1969 ජූනි 30 දාය. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ටෙරාන් ජයසූරියට උපත දෙන පින්වත් මව බ්‍රීඩා ජයසූරියයි. පියා ඩන්ස්ටන් ජයසූරියයි.
සුන්දර මාතර පුරවරය උපන් ගම් පියස වූ සනත්ගේ ළමා කාලය ගැන වෙන ම කතා කළ නොහැකි තරමට ඔහුගේ ළමා කාලය ද ක්‍රිකට් ම විය. වයස හයේ හතේ සිට ම පන්දුවට, පිත්තට අත හුරු කර ගත් සනත්ට පවුල් පරිසරයෙන් ද ඊට අනුබලයක් ලැබෙන්නේ ඔහුගේ මාමලාගෙනි. ඔවුන් පාසල් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළා පමණක් නොව පාසල් ක්‍රිකට් නායකයන් ද විය. සනත් වරක් පැවසූ පරිදි ඔහුගේ පියා ක්‍රිකට් ක්‍රීඩාව කරනවා තබා ක්‍රිකට් බෝලයක්වත් අල්ලා නැත.

මුහුද අද්දර සුන්දර මාතර ශාන්ත සර්වියේෂස් විදුහල සනත් අකුරු කෙරූ තැනය. සනත් පාසලේදීත් ක්‍රිකට් ගැසුවේය. පාසල ඇරී නිවසට එන්නේත් සෙල්ලමට බලාගෙන ය.

කරදිය පිස එන සුළඟ දාහය නිවද්දී ඒ රත් පැහැ හවස්වරු ගෙවී ගියේ නිවස ඉදිරි පස පාරේය. ඒ සොෆ්ට් බෝල්, ටෙනිස් බෝල් සමග ය. සිය සොහොයුරාත්, නිවසේ නවාතැන් ගෙන සිටි මුස්ලිම් සහෝදරයන් දෙදෙනා ත්, අසල්වැසි මිතුරු පිරිසත් ඊට හවුල් විය. මුහුදු රළ හඬ නගමින් වැල්ලේ හැපෙද්දී සනත්ගේ ක්‍රිකට් පිත්තෙහි වැදෙන පන්දුවක් නිවස පිටුපස තිබෙන මුහුද දෙසට පියඹා යන්නේ නිවසට ඉහළිනි. පන්දුව සොයා දිව යන ක්‍රීඩක පිරිස එය සොයා ගැනීමට නොහැකි වූ තැන තව දුරටත් වෙහෙස වීම නවතා මුහුදට බසින්නේ දවසේ වෙහෙස නිවා ගැනීමට ය.
කාලය ගෙවී යන අතර ඔහුගෙ ජීවිතයේ ලොකුම වෙනස වෙන්න පටන් ගන්නේ ක්‍රිකට් නිසා ය. සනත් ජයසූරිය ලංකාවේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ සිය පාසල වෙනුවෙන් ලකුණු 1000 සහ කඩුළු 100 රැස් කිරීමත් සමග ය. ඒ සමගම ඕස්ට්‍රේලියානු සංචාරයට යන 19 න් පහළ කණ්ඩායමට එක් වන්නට අවස්ථාව ලැබෙන්නේ 1989 දීය.

ඒ තෝරා ගැනීම හේතුවෙන් අවුරුදු 18 න් කොළඹට එන සනත් මුලින් ම ඔහුගේ මාමාගෙ නිවසේත් ඉන් පසු ටික කලක් අර්ජුන රණතුංගගේ නිවසේත් නවාතැන් ගන්නේය. එහිදී අර්ජුන ඔහු රැක බලා ගත් අයුරුත් පිට පළාත්වලින් කොළඹට පැමිණි අනෙකුත් ක්‍රීඩකයන්ට ද එලෙස ම උදව් උපකාර කළ අයුරුත් සනත් බොහෝ අවස්ථාවන් හිදී සිහිපත් කරන්නේ කරන්නේ මහත් ගෞරවයකිනි.
ඊළඟට ඔහුගේ නවාතැන වන්නේ ගල්කිස්සේ සිටි මුස්ලිම් මිතුරු නිවසකි. එතැන් පටන් අවුරුදු 12 ක් ම ඔහු ගේ සෙවණ එතැන ය.මිතුරා විසින් ජයසූරියට අවශ්‍ය සියලු පහසුකම් සැලසුවා සේ ම විනයානුකූල හැඩගැස්මකට ද ඔහු හුරු කළේය. නියමිත වෙලාවට කෑම බීම, නින්ද ලබා ගත යුතු වූ අතර රෑ ගමන් බිමන් ද සම්පූර්ණයෙන් ම තහනම් ව තිබුණි. එදා ඒ ලැබුණ විනය තම ක්‍රීඩා දිවියට ආලෝකයක් එක් කළ බව සනත් අදටත් සිහිපත් කරන්නේ කෘතඥතා පූර්වකව ය.

සනත්ට පොඩි රැකියාවක් ලැබෙන්නේ පුහුණුවීම් වලට මහන්සි වන අතරතුර ය. ගල්කිස්සේ සිට ඔහුගේ ගමන බසයෙනි. මිතුරා ඔහු සතු චැලි වර්ගයේ බයිසිකලය සනත්ට දෙන්නේ මේ අතර ය. එතැන් සිට සනත් අවුරුදු 3 ක් පමණ ම පුහුණුවීම්වලට ආවෙ ගියේ ඒ බයිසිකලයෙනි.
සනත් ඒ වන විට ශ්‍රී ලංකා ‘ ක්‍රිකට් පූල්’ එකට තේරී පත් වී තිබුණි. එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තේරෙනවටත් වඩා ඒ තිස් දෙනා අතරට ඒම ම ලොකු ජයග්‍රහණයක් ලෙස දැනුණු බව ඔහු පසු කලක දී පවසා ඇත.

ඒ වන විට අරවින්ද ද සිල්වා සිටියේ ද රත්මලානේ වීම නිසා පුහුණුවීම් අහවරව ඔහුගේ කාරයේම සනත්ට ද ගල්කිස්සට එන්න අවස්ථාව ලැබෙන්නේ අර්ජුනගේ මැදිහත් වීමෙනි. පුහුණුවීම් අවසන්ව පිටත් වන්නේ සවස පහමාරට වුව ද අරවින්ද සමග කොළඹ වටේ රවුමක් ගසා ගල්කිස්සට එන විට බොහෝ විට රාත්‍රී දහය පමණ වන බව කියන සනත් ඒ සුන්දර මතකයන් අවදි කරන්නේ සිනා මුසුව ය. එලෙස සනත්ගේ කාර්‍යබහුල දින ගෙවෙමින් තිබුණි .
සනත් 96 ලෝක කුසලානයටද යන්නේ ගල්කිස්සේ මිතුරාගේ නිවසේ සිට ය.
සුද්දාගේ ක්‍රිකට් පොත පසෙක තැබූ සනත් පොතේ හැටියට නොව හිතේ හැටියට ක්‍රිකට් ගැසීමට පටන් ගන්නේ 1996 එක් දින ලෝක කුසලානයෙන් පසුව ය.

වමත් පිතිකරුවකු වූ ජයසූරියගේ ප්‍රවේගකාරී ලකුණු රැස් කිරීමේ රටාව ලොව ක්‍රිකට් කප්පිත්තන්ගේ මවිතයට හේතු විය. ක්‍රිකට් විචාරකයන්ට වචන නැති විය.
සනත් ජයසූරිය යනු පන්දුවට පහර දීමේ විප්ලවයක් ඇති කළ ක්‍රීඩකයා ලෙස කතාබහට ලක් වන්නට පටන් ගන්නේ ඒත් සමග ය.
සනත්ගේ සුවිශේෂී කවර් පොයින්ට් පහර සමග කට් සහ පුල් පහරවල් කැපී පෙනුණි.
සනත් ජයසූරිය 1996 තරගාවලියේ වීරයා විය. හොඳ ම එක් දින ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළු විය. 1997 විස්ඩන් වර්ග කිරීම අනුව එම වර්ෂයේ ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු විය.
96 ලෝක කුසලානෙන් ආරම්භ වූ ජයසූරිය කළුවිතාරණ ආරම්භක පිතිකරන සුසංයෝගය කාටත් මතක ය.

” සනතුයි මායි ඕපන් කරලා අපිට ගොඩක් ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වුණා. සනත් එක්ක ක්‍රීඩා කරන්න ලැබිච්ච එක මගේ ජීවිතේ මට ලැබුණු ලොකු ම ජයග්‍රහණයක්. මොකද එයා මාර ටැලන්ටඩ් ක්‍රිකටර් කෙනෙක්. ලෝකයේ බිහිවුණ හොඳ ම ඕපනින් බැට්ස්මන් කෙනෙක්. අඩු කතාව වුණාට ගොඩක් ප්‍රතිඵලවලින් අංග සම්පූර්ණ ක්‍රීඩකයෙක්. අපි දෙන්නා ඒ කාලෙ එකට යන කොට පුදුම අභිමානයක් තිබුණා. මිනිස්සුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර. මේ හැඟීම අදටත් මට හරිම ආඩම්බරයක්.”
රොමේෂ් කළුවිතාරණ පවසන පරිදි ම සනත් වැඩි කතා නැති නිහඬ චරිතයකි. එහෙත් ඔහුගේ පිති හරඹය කුණාටුවක් වැනි ය. ඔහුට Master Blaster, Master Mauler වැනි අන්වර්ථ නාම ලැබුණේ එනිසා ය.
ලෝකයේ හොඳ ම ක්‍රිකට් කණ්ඩායම්වල හොඳම පන්දු යවන්නන් වන බ්‍රෙඩ්ලි, මැක්ග්‍රා, ෂේන් වෝන්, වසීම් අක්‍රම්, වකාර් යුනුස්, අකීම් ජාවේඩ්, ඉම්රාන් ඛාන් වැනි ක්‍රීඩකයන් අසරණ කළ සනත්ගේ ක්‍රීඩා විලාශය ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය වඩ වඩාත් දිනා ගැනීමට සමත් විය. එදවස ඔහු පිටියට අවතීර්ණ වන දසුන රූපවාහිනී තිරය මත ඇඳෙද්දී හොඳ හුස්මක් ගන්නා මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයා හදිසියේ වත් ඔහු දැවී ගියහොත් බොහෝ දුර්මුඛ වූයේ ය.
“ටෙන්ඩුල්කාර් 50 ට වඩා ගැහුවොත් මැච් එක පරාදයි. ජයසූරිය නොගැහුවොත් ලංකාව පරාදයි.” ඒ එසේ සිතූ යුගයකි.
සනත් ජයසූරියගේ අවදානම් ලකුණ 13 වන බවට මතයක් ද ක්‍රිකට් ලොව පැවතුණි. එහි යම් කිසි සත්‍යතාවක් නොතිබුණා ද නොවේ.
සනත් යනු වාර්තා හඹා යෑම පසෙකින් තබා රට දිනවීම අරමුණු කර ගෙන ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ප්‍රතිවාදී පිළ ලකුණු 400ක් රැස් කර තිබුණත් සනත් ජයසූරිය ඇවිත් ඕවර් 10 න් ඒ ලකුණු ටික රැස් කර දෙයි කියා පවා සිතන ක්‍රිකට් ප්‍රේක්ශකාගාරයක් ඔහු අත්පත් කර ගෙන සිටියේ ය. ලංකාවේ මිනිස්සු ‘ක්‍රිකට්වලට ඇබ්බැහි කළ ක්‍රීඩකයා’ සනත් ජයසූරිය බවට බොහෝ දෙනා පවසන්නේ එබැවිනි .
මෙරට පමණක් නොව සනත් ට ආදරය කළ, ඔහු වීරයෙක් ලෙස සැලකූ පිරිසක් ලොව පුරා විය. ජංගම දුරකතන භාවිතයක් නොතිබුණු ඒ අවධියේ ඔහුට ලංකාවෙන් පමණක් නොව ඉන්දියාව පාකිස්තානය රට වලින් ද ලිපි ලැබුණි. ඒ ලිපි මසකට දාහක පමණ ප්‍රමාණයක් විය. ඒ අතර ආදර යෝජනා, ඔහුගේ අත්සන ඉල්ලා එවූ ලිපි ද තිබුණි. ඒවාට පිළිතුරු ලිවීමට ඔහු වෙන ම අයෙකු යොදවා තිබුණු බව කියැවේ.
ආශ්චර්යාරායිගෙන් ඔහුට විවාහ යෝජනාවක් ලැබුණ බවට ද එකල කතාවක් තිබුණි. සනත් එහිදී පවසා තිබුණේ එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඔහු විනිසුරුවරයකු ලෙස ඉන්දියාවට ගොස් සිටි අවස්ථාවේදී ආශ්චර්යා රායි හොඳ මිතුරියක් බවට පත් වූ බවත් ය.
තුන් ඉරියව්වෙන් ම දස්කම් පෙන් වූ සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයෙකු තැබූ වාර්තා පිළිබඳ වෙන් වෙන් වශයෙන් කතා කිරීම පහසු නැත. එක් දින ලකුණු 13000 ක් පමණ රැස් කළ ඔහු කඩුලු 300 ට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන්නේ ය. ටෙස්ට් ලකුණු 7000 ක්,ටෙස්ට් කඩුලු 100 ක් පමණ ද වෙයි.
ඔහුගේ ටෙස්ට් ඉනිමක වැඩි ම ලකුණු 340 කි.
එක් දින ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය 189 විය.

දක්ෂ වමත් දඟ පන්දු යවන්නෙකු වූ ඔහු එහි සාමාන්‍ය අගය සැලකිය යුතු මට්ටමක පවත්වාගෙන ගියේය. එසේම ජයසූරිය ඉතා දක්ෂ පන්දු රකින්නෙකි. දුවද්දී දවා ගැනීම් වල දුටු ඒ කඩිසර ක්‍රීඩා විලාශය අපට මතක ය.
එහෙත් තමන් කැමති ම එංගලන්තයේ දී ලබා ගත් ලකුණු 212 ටෙස්ට් ඉනිමට බව ඔහු සඳහන් කරන්නේ “ලකුණු නැති වෙලාවක තමයි ඒක ගැහුවේ ඒකයි කැමති ” යනුවෙනි. ඔහු එදා එම ඉනිමේදී විදුලි වේගයෙන් ගැසූ හයේ පහර ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සදානුස්මරණීය සිහිවටනයකි. “එංගලන්තය අපිට ඒ තරම් ටෙස්ට් මැච් නොදුන්න කාලෙක, බොහොම කලාතුරකින් ටෙස්ට් මැච් එකක් දීපු කාලෙක, ඒ මැච් එක දිනුවයින් පස්සේ ඒගොල්ලෝ හැම සංචාරයක දිම ටෙස්ට් මැච් තුනක් විතර, එක් දින හතරක් පහක්, 20 -20 දෙක තුනක් විතර දුන්නා.ඒ වගේ ලොකු වෙනසක් ඇතිවුණා. ඒ වෙනසෙන් තමයි අපේ මේ ගොඩක් ක්‍රීඩකයන්ට ඉස්සරහට ඇවිල්ලා සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්නේ.” ඔහු වැඩිදුරටත් පවසන්නේය.
කොහොමටත් 96 කණ්ඩායමේ එකමුතුව පුදුමාකාර එකකි. එම කණ්ඩායම් හැඟීම සනත් ගේ ඉහත ප්‍රකාශයෙන් ද පෙනෙන්නට ඇත.
සනත් වගේ වන්නට සනත් වගේ ක්‍රීඩා කරන්නට ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දෙනා සිහින දකින්න ට ඇත. අද වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ලෝකය ට ගෙන යාමට පෙරමුණ ගෙන සිටින සුපිරි ක්‍රිකට් තරුව චමරි අතපත්තුගේ සදාකාලික ක්‍රිකට් වීරයා සනත් ජයසූරිය බව ඇය මෑතකදී පැවසුවාය.
ලොව දක්ෂ ම ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් අවස්ථා කිහිපයක දීම සනත් ගේ ක්‍රීඩා කෞශල්‍යය ප්‍රශංසාවට ලක් කර තිබුණි.
පකිස්තානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් සනත් ජයසූරිය ගැන කියා තිබුණෙ මෙවැන්නකි. “සනත් ජයසූරිය කියන්නේ භයානක පිතිකරුවෙක්”. ලොව දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් සනත් ප්‍රශංසාවට ලක් කර තිබුණි.
“සනත් ජයසූරිය පන්දු යවන විට මේ තරගයට මම ක්‍රීඩා නොකළා නම් කියලා හිතෙනවා එහෙම හිතන්න මට අයිතියක් නෑ. කෙසේ වෙතත් ජයසූරියට මම පන්දු යවන අවස්ථාවේ මම හිතන්නේ එකම එක දෙයයි ඒ මගේ පන්දුවාරය තුළ කොපමණ ලකුණු ප්‍රමාණයක් මට ජයසූරියට දෙන්න වෙයිද කියලා.” මෙසේ පවසන්නේ ඉන්දියාවේ හිටපු වේගපන්දු ක්‍රීඩකයෙකු වන වෙන්කටේෂ් ප්‍රසාද් ය.
” 1930 ගණන්වල සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩා කළ අයුරු ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගැන්වෙන ආකාරයෙන් ඔහු ක්‍රීඩා කරනවා “. ඕස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායකයෙකු වන ඉයන් චැපල් එසේ කියද්දී ” මම ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩා කරනවා දැකල නෑ ඒත් මම සනත් ජයසූරිය ක්‍රීඩා කරනවා දැකලා තියෙනවා. මගේ ක්‍රිකට් ජීවිතයේදි දැකපු දක්ෂතම ක්‍රීඩකයා සනත් ජයසූරිය .”
ඉන්දියාවේ හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් එසේ කියයි.
රොමේෂ් කළුවිතාරණගෙන් පසු තමා වඩාත් කැමති සහාය ආරම්භක පිතිකරුවා මාවන් අතපත්තු බව සඳහන් කරන සනත්
ලංකාවෙන් බිහි වූ දක්ෂත ම පිතිකරුවා ලෙස නම් කරන්නේ අරවින්ද ද සිල්වා ය. ක්‍රීඩා කළ හොඳම, කැමතිම නායකයා ගැන ඔහු කියන්නේ ඒ අර්ජුන රණතුංග බවයි.
උපතින් බෞද්ධයකු වන සනත් බෞද්ධ දර්ශනය අනුගමනය කරනවා මෙන් ම අනෙකුත් ආගමික විශ්වාසයන් ද අදහන බවත් ඒවාට ගරු කරන බවත් ප්‍රකට කරුණකි. එම ආශිර්වාද තමාගේ ගමනට ලොකු බලපෑමක් කළ බව ඔහු පවසන්නේ භක්තියෙනි. එසේම ඔහු ‘වාසනාව’ මත ද විශ්වාසය තබන ක්‍රීඩකයෙකි.එදවස ඕනෑම තරගයකට පිටත් ව යෑමට පෙර බෝපිටිය පල්ලියට යෑම සනත් ගේ පුරුද්දකි. එසේම කොච්චිකඩේ පල්ලිය ද මාතර නිවස ආසන්නයේ පිහිටි පල්ලිය ද ඔහුට හොඳින් හුරුපුරුදු ය.

වරක් සනත් සහභාගි වන IPL තරගාවලියක දී ඔහුට ලකුණු අහිමි වීම නිසා තරගය අතරතුර ලංකාවට පැමිණ ඇත. ඒ ළඟම හිතවතුන්වත් නොදන්වා ය. ඔහු අදහන ආගමික විශ්වාසයන් මත යම් යම් වත් පිළිවෙත් කිරීමෙන් පසු නැවත ඉන්දියාව බලා යන ඔහු ඉන් පසු හොඳින් ක්‍රීඩා කර එහි වැඩි ම ලකුණු රැස්කර ගත්තාට අමතරව තරග හය හතක්ද එක දිගට ජයග්‍රහණය කළ බව කියැවේ.

ක්‍රීඩකයකු ලෙස ලොව ක්‍රිකට් ක්‍රීඩා පිටි පුරා කිතු ගොස පැතිර වූ සනත් ජයසූරිය ලංකා දේශපාලන පිටියට පය තබන්නේ අනපේක්ෂිත ලෙස ය. මාතරින් පාර්ලිමේන්තුවට එන සනත් 2010 සිට 2015 තෙක් එහි රැඳී සිටියේ එක් කලෙක නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ද හිමි කර ගනිමිනි. පසු කලෙක ඔහු සිය දේශපාලන භූමිකාව පිළිබඳ කියා තිබුණෙ මෙවැන්නකි.
” මට දේශපාලනය කරලා ගන්න පුළුවන් වුණේ සිම්පල් පාස් එකක් විතරයි.ක්‍රෙඩිට් එකක් ගන්න බැරි වුණා.” .

සනත් 1999 සිට 2003 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහු 2013 දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති බවට ද පත්වන අතර 2014 ක්‍රිකට් 20-20 ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වන්නේ ඔහුගේ මෙම නිල කාලය තුළ වීම විශේෂත්වයකි.
ඔහු සමාජ සේවයට ද දායකත්වය ලබා දුන් අවස්ථා බොහෝ ය. ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතුව ඉටු කරන ලද මෙහෙවර වෙනුවෙන් ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශේෂිත ගෞරව තනතුරක් ද හිමි විය.
වරක් ඔහු පවසන්නේ චිත්‍රපට සඳහා ද ආරාධනා ලැබී ඇති බවත් ඒ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවති බවත් ය.
සනත් පුතු රනුක් ද මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගෙන තිබේ. ” සනත් ජයසූරියගේ පුතා කියලා හිතලා ක්‍රිකට් ගහන්න එපා” තමන් ඔහුට දෙන අවවාදය එය බව සනත් තැනෙක පවසා තිබුණි.
මේ වන විට සනත් නිල වශයෙනි ක්‍රිකට් නවතා අවුරුදු ගණනාවකි. එහෙත් ඔහුට ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබෙන ආකර්ෂණයේ අඩුවක් නැතෙ. අදටත් ඔහු එන බව දැන ගතහොත් පාන්දර 3 ටත් එයාර්පෝර්ට් ලොබි එකේ රැඳී සිටින්නේ ඔහු සමග පින්තූරයක් ගැනීමේ ආසාවෙනි.
සනත් ජයසූරියත් ක්‍රිකට් කියන්නෙත් එකක් මය. එය වෙන් කළ නොහැකි ය. ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටියත් පසු කලෙක දි ඔහු ක්‍රිකට් ඇකඩමියක් ද ආරම්භ කරන්නේ එනිසා විය යුතු ය. එසේ ම මේ වන විට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් උපදේශකයකු ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් තව දුරටත් ඔහුගේ යුතුකම ඉටු කරමින් සිටින්නේ ය.
ඔහුගේ අගය අපට එදාටත් වඩා අද දැනෙමින් ඇත. සනත් ජයසූරිය මේ රටට, ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම් ළෙන්ගතු දැයි සිතා ගැනීමට ඔහුගේ මේ වදන් සාක්ෂි වනු ඇත.
“ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙද්දී ඒක සන්තෝෂයක්. අපි ඒ සන්තෝෂය අහිංසකව විඳිනවා. ආසයි එහෙම ඒවා අහන්න. මොකද අපි යම්කිසි දෙයක් කළා නේද කියන දෙයක් එතැන තියෙනවා. අපි කිසි ම දෙයක් තිබිච්ච අය නෙවෙයි. ගොඩක් ම දුෂ්කර ජීවිතයක් ගත කරපු අය. ඒත් මම කැමති නෑ ඒවා කළේ මම විතරයි කියලා කියනවට. මං ඒකට ආස නෑ. අපේ ක්‍රීඩකයො හැමෝම ඒ තත්ත්වෙට එන්න ඕනේ කියලයි මම හිතන්නේ. මොකද මං කැමති නෑ අපේ කාලේ විතරයි ආසාවෙන් ක්‍රිකට් බැලුවෙ කියලා කියනවාට. එතකොට ඒක අපිට දුකක්.”
ආයෙත් අතීතය ට ගියා.අපේ ක්‍රිකට් වීරයා ගේ කාලය නැවත සජිවී කරන්න ට සජිවී සටහන ක් තබූ ඔබට ස්තූතියි