මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර්: බදු වංචාවට සුරාබදු ඉහළ නිලධාරීන් හවුල්!

බදු නොගෙවීම සඳහා මත්පැන් බෝතල්වල ව්‍යාජ ආදායම් ස්ටිකර් අලවා වංචාවක් සිදු කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහාය ඇතිව බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා පැවසුවේ සුරාබදු අධිකාරීවරයෙකුට අයත් නිවසකින් මෙම ව්‍යාජ ස්ටිකර් බෙදා හැර ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම ව්‍යාජ ස්ටිකර් සිද්ධියට සම්බන්ධ දෙදෙනෙක් 2004 වසරේ අල්ලස් නඩුවක චූදිත නිලධාරීන් දෙදෙනෙක් බවත් මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.

රටපුරා මත්පැන්හල් 100ක පමණ මෙම ව්‍යාජ ස්ටිකර් සහිත බෝතල් සොයාගෙන ඇතැයි වාර්තා වෙනවා. යාපනය, ගාල්ල, රත්නපුර සහ කහවත්ත යන ප්‍රදේශවල සුරා සැල් ප්‍රමාණයක මෙලෙස සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ බදු වංචාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවයි.

ස්ටිකර් ඇලවීම සිදු කරනු ලැබුවේ සමාගම් විසින් කරනු ලබන බදු වංචාව වැළැක්වීමට බවත්, එය සිදු කිරීමෙන් පසු මුල් කාලයේදී අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණු බවත් පසුව එහි ගැටලු මතු වුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. ජනපති නියෝගයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බැවින් තරාතිරම නොබලා වංචනිකයන්ට දඬුවම් ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles