2019 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව දිගින් දිගටම ශ්‍රී ලංකා රජය වෙත දැනුම්දුන් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසනවා.
මේ බව සඳහන් කළේ නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ්. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම 54 වන සැසිවාරයේ පළමු දිනයට එක්වෙමින්.
ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමිනුයි ඇය මේ බව පවසා තිබෙන්නේ.
එහි දී එම කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පවසා ඇත්තේ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා දිගින් දිගටම පැවසූ බවයි.
එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසු විපරම් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට ද මානව හිමිකම් මහකොමසාරිස්වරයා නිර්දේශ කර ඇති බවත් එම පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර විමර්ශන නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙසත් සඳහන් කරමින් ඇය පවසන්නේ විනිවිදභාවයකින් යුතුව එම පරීක්ෂණ සිදුකළ යුතු බවත් මේ සඳහා පාස්කු ප්‍රහාරයේ සියලුම වින්දිතයින් ඇතුළත් විය යුතු බවත්ය.
තව ද මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට එල්ලකර ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු වගවීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ද මෙහිදී මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් කරුණු පැහැදිළි කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වර්තමානය සහ අනාගතයේ සුරක්ෂිතතාවය සඳහා මෙම වගවීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවද එම නිවේදනයෙන් මහකොමසාරිස්වරයා පෙන්වා දී තිබෙනවා.
මේ අතර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය සිදුවී වසරක් ගතවුවද දිගුකාලීන අභියෝගවලට මුහුණදිය හැකි බලාපොරොත්තු වූ පරිදි පරිවර්තනයක් තවමත් සිදුව නොමැති බවත් එසේම සත්‍ය සෙවීම පමණක් නොව වගවීමේ ක්‍රියාවලිය පිළිබඳවද පැහැදිළි කැපවීමක් දේශපාලන යාන්ත්‍රණය තුළ තිබිය යුතු බවත් මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිය වාර්තාවේ සඳහන් කරනවා.