තමන්ව අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් සිය ආත්ම ගරුත්වයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.
එයට අදාළ විත්තිකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහිම පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ගිසි අවි පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් තමන්ට එරෙහිව ද්වේශසහගත සහ පළිගැනීමේ චේතනාවෙන් විමර්ශනයක් සිදු කළ බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
මෙම සිදුවීමට අදාළව ශානි අබේසේකර මාස ගණනක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිත කරමින් ද්වේශසහගත ලෙස තම ආත්ම ගරුත්වයට කළ අපකීර්තිය නිසාවෙන් කෝටි 100ක වන්දියක් අයකර දෙන ලෙසයි එයින් ඉල්ලා ඇත්තේ.
කෙසේ වෙතත්, මෙරට බිහි වූ අතිදක්ෂ රහස් පරීක්ෂකවරයෙකු ලෙස ශානි අබේසේකර සැලකෙනවා.