පිළිකා රෝගීන් මෙසේ මිය යා යුතු ද? සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට

පිළිකා සෛල විනාශ කරන තුන්වන ලීනියර් ඇක්සලරේටර් (linear accelerator)යන්ත්‍ර ද බිඳවැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

එසේම සෞඛ්‍ය පද්ධතියටම මෙම යන්ත්‍ර 10 ක් ඇති බවත් එයින් මේ වන විට 03ක් අක්‍රීය වී ඇති බවත් පවසන එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මෙම ප්‍රතිකාරය මගින් පිළිකා රෝගියෙකුගේ පිළිකා සෛල යාබද නිරෝගී සෛලවලට හානියක් නොවී සාර්ථකව විනාශ කිරීමට හැකියාව පවතින බවයි සඳහන් කරන්නේ.

තව ද නවීනතම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර භාවිතාවෙන් සිදුකරන විකිරණ ප්‍රතිකාරය පෙන්වා දියහැකි බවත් පිළිකා රෝගියෙකුගේ වේදනා සමනය කිරීමේ ප්‍රතිකාර ද මෙමගින් සිදු කිරීමට හැකියාව පවතින බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10 න් යන්ත්‍ර 05ක් ඇත්තේ මහරගම අපේක්ශා රෝහලේ වන අතර මහනුවර රෝහලේ යන්ත්‍ර 02 ක් ද ,යාපනය ශික්ෂණ රෝහලේ යන්ත්‍ර 01 ක් ද , කරාපිටිය ශික්ෂණ රෝහලේ යන්ත්‍ර 01 ක් සහ මඩකලපුව ශික්ෂණ රෝහලේ යන්ත්‍ර 01 ක් ද වශයෙනි.

ඒ අනුව මඩකලපුව ශික්ෂණ රෝහලේ තිබෙන linear accelerator යන්ත්‍රය පසුගිය අගෝස්තු විසි දෙවැනි දා සිට බිඳ වැටී ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ. ඊට හේතුව වශයෙන් අදාල සේවා සපයන සමාගම යන්ත්‍රය පිහිටි ඒකකයේ වායුසමීකර පද්ධතියේ තිබෙන උෂ්ණත්වය සහ ආර්දතාවය නිසි පරිදි පාලනය නොවීම නිසා මෙම යන්ත්‍රය බිඳ වැටී ඇති බවයි සඳහන් කර ඇත්තේ.

එසේම සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජනය කරන ප්‍රදේශයේ පවතින මහනුවර ජාතික රෝහලේ තිබෙන linear accelerator යන්ත්‍ර 2 දෙක ක්‍රියා විරහිත වී ඇත්තේ 2022 වසරේ නොවැම්බර් මස සිට වුව ද කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මේ පිළිබඳව කිසිදු පියවරක් නොගත් බවයි එම සංගමය පවසන්නේ.එම යන්ත්‍රය ද බිඳවැටිමට හේතුව ලෙස ද අඳාළ සමාගම් පවසන්නේ එම යන්ත්‍ර පිහිටි ගොඩනැගිල්ලේ සිසිලන පද්ධතියේ තිබෙන දෝෂයන් නිසා බවයි

කෙසේ වූව ද මහනුවර රෝහලේ මෙම යන්ත්‍රය බිඳවැටීම නිසා එම රෝහලට පැමිණි පිළිකා රෝගීන් මඩකලපු රෝහලට යොමු කරමින් එම රෝගීන් ගේ ප්‍රතිකාර කටයුතු සිදු කර තිබෙනවා. නමුත් මඩකලපුව රෝහලේ මෙම යන්ත්‍ර බිඳවැටීමත් සමඟ එම රෝහලට පැමැණි රෝගීන්ට ද ඇතුළුව හම්බන්තොට , මොණරාගල , අම්පාර , මඩකලපුව , ත්‍රිකුණාමලය , අනුරාධපුර , පොලොන්නරුව රෝහල් වලින් පැමිණි සියලු රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඇණ හිට ඇති බවයි චානක ධර්මවික්‍රම
පවසන්නේ.

පිළිකා රෝගියෙකුගේ විකිරණ ප්‍රතිකාර කටයුතු කිරීමේදී දින කීපයක් එක දිගට සිදුකරන අතර එය දින පහේ සිට දින තිහක් දක්වා වූ අඛණ්ඩ ප්‍රතිකාරයක් ලෙස අදාළ රෝගියාගේ රෝග තත්ත්වය අනුව සිදු කරන බව ධර්මවික්‍රම පවසනවා.

මෙසේ ප්‍රතිකාර කටයුතු කිරීමේදී අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය වන බවත් මෙම යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව සිදු කරගත නොහැකි නිසා රෝගීන් සහ කාර්ය කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් එම සංගමය පවසනවා.

එසේම මෙම ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහේ සිට දාහතක් දක්වා මුදලක් වැය වන බවත් එසේ කර ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවත් සඳහන් කරන රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ මෙම ගැටළුව සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව දැනුවත් කර ඇතත් මේ වන තුරුත් එම යන්ත්‍රය යථා තත්ත්වයට පත් පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles