–නිශ්මං රණසිංහ
ක්‍රිකට් පාර්ලිමේන්තුව දක්වා දිගු වූයේ එහි ඇති විශාල මුදල් සම්භාරය හේතුවෙන්ය. එහි දෙකක් නැත. ක්‍රිකට් ක්‍රීඩාවට වඩා රටවල් ගණනාවක් පරාජය කර ඔලිම්පික් පදක්කම් පවා ගෙනා මලල ක්‍රීඩාව වැනි ක්‍රිඩාවන්හි ඇති ප්‍රශ්න එච්චර දුරට කතා කෙරෙන්නේ නැත. එපමණක් නොව ඒවා අමාත්‍යවරු, නිලධාරි දෙකේ කොළයට දා කතා කරද්දි අඩුම ගණනේ විපක්ෂයට හෝ දැනෙන්නේ ද නැත.
ක්‍රීඩා අමාත්‍යවරයා නිසා මීට පෙර ද ක්‍රිඩා දෙකක් තහනම් විය. පසුව ඒ තහනමට බල පෑ හේතු වෙනස් කර ගැසට් නිවේදන නිකුත් කර යම් යම් ගත්තු තීරණ හකුළා ගැනීමට ක්‍රිඩා ඇමති ක්‍රියා කළේ ඒ ක්‍රීඩාවන්හි අන්තර්ජාතිකව පිළිගන්නා මව් සංගමයට අවනතවය. කිසිදු මහජන නියෝජිතයෙක් ඊට එරෙහිව නොආවේය.සමාජය කැළඹුණේ ද නැත.
ඒ ක්‍රිකට්වලට තියෙන මූල්‍යමය ශරීරය ඒ ක්‍රිඩාවන්ට පෙනෙන්නට නොතිබි නිසාය. මාධ්‍යය ද බොහෝ විට කතා කළේ ලොකු ශරීරය ගැන විතරමය.
මෙවර අයවැයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ අර්බුදයට ගොස් තිබෙන ක්‍රිකට් ගැන විතරක් කතා කරන්නට තීරණය කර තිබීම ද, ඔහු තනිව ගත් තීරණයක් නොවේ. ජන විඥානය විසින් ඔහුව පොළඹවන ලද දේ ය. ඉල්ලක දේ දිය යුතුය යන සරල දියාරු දේශපාලන සංකල්පය මත පිහිටා ඔහු බිලියන 1.5 ක් රටේ දුෂ්කර පළාත්වල පාසල් ක්‍රිකට් දියුණුවට ප්‍රමුඛතාවය දෙන්නට අයවැයෙන් ගලා යන්නට ඉඩ සළස්වා ඇත. අඩුම තරමේ ඔලිම්පික් පදක්කම් දෙකක් ඇති මලල ක්‍රීඩාවට තවමත් කොළඹට එන්නෙ නැතුව දුවන්න කෘත්‍රිම ධාවන පථයක් නැත. මේවා සංවර්ධනය කරන්නට අවශ්‍ය බවට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල ඇසුරේ ලංකාවේ දුෂ්කරතා බැමි බිඳ ලංකාවට ගෙනා රන්, රිදී, ලෝකඩ පදක්කම් ලෝකයට රැගෙන යන්නට යටිතල පහසුකම් පුළුල් කරන්නටවත් ක්‍රමයක් නැත.
ක්‍රිකට් අර්බුදය පාර්ලිමේන්තුවේ බහුතරයක් කියවා ගත් ආකාරයට වඩා වෙනස් ආකාරයකින් ඇත්ත මත පිහිටා කියවා ගන්නට රනිල් වික්‍රමසිංහ සමත්ව තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු. එහෙත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා නැටුවේ අමු පිස්සුවක්ය. තනිකර දේශපාලන වැඩක්ය. ඒ වැඩේ කොටසක් හැටියට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ එකඟතාවය ඒකමතික ලෙස ගන්නට ඔහුට හැකි විය. එසේ නොවුණානම් පක්ෂ විපක්ෂ ලෙස වැටෙන්නට ඡන්ද තිබෙන බව පැහැදිලි කර ගන්නට දයාසිරි ජයසේකර කළ කතාවම උදාහරණයක්ය.
නමුත් සජිත්ගේ ජය එදා වේල සංචාරයක්ය. එය තිරසාර නැත. පාර්ලිමේන්තුවම එකඟ වී දෙකෝටියක ජනතාව ද අත්සන් කර දුන්න ද අයිසීසී එකට අදාළ නැත.අයිසීසි කියන්නේ ශ්‍රී ලංකාව කියන රටට වඩා විශාල ක්‍රිකට් ලෝකයය. “සර් කියනවානම් ඕනෑ එකක්” කියන අයගේ ප්රශස්තිවලට හැඩ ගැසී සිටින ලංකාවේ දේශපාලන ඔළුවලට මේ ජාත්‍යන්තර පිංතූරයේ ඇති නොපිළිගැනීම දරා ගන්නට නොහැකිය. එය හීනමාන තත්ත්වයක් වන අතර හුරු කර දේශපාලන ඔළුවලට එන්නත් කර තිබෙන්නේ එහෙයි වර්ගයේ ඡන්දදායක ප්රජාවය.
ලංකාවේ මීට දෙවසරකට උඩදී මහා අරගලයක් ඇති විය. එහිදි ජනතාව දුන් ජනාධිපතිගේ බලය ආපසු ගෙන ඔහුව පළවා හැරියේය. ඔව්හු ව්‍යවස්ථාදායකය එක හඬින් ප්‍රතික්ෂේප කළහ. 225 ම ගෙදර යා යුතු බව කීහ. නමුත් දේශපාලනිකව යළිත් ජනතාව පරාජය වී පාලකයා උපක්රමිකව යම් ආකාරයකින් අවස්ථාව ජයගෙන තිබෙන බව නොසිතේ ද?
අද ඔවුන් ක්‍රිකට් ආයතනය දෙසට හැරී පාර්ලිමේන්තුව පිළිගන්නට කියයි. එහි යටි පෙළෙන් ලංකාවේ මේ දක්වා ජනතාව පාලකයාට නොකළ බලපෑමකින් ලද ජය හෑල්ලු වී, පාලනයේ හැඩය ජනතාවට තීරණය කරන්නට හැකි බලය ක්ෂය වී “අර හොර එපා මේ හොරා ෂෝයි” යන ළදරු අදහසකට පිවිස නොමැති ද?
හරියටම ගත්තොත් පහුගිය කාලයේ අපේ දේශපාලනයේ බලයට ප්‍රධාන වූවේ අතිසංවේදි කාරණාය. චන්ද්‍රිකාගේ ඇහෙන් පටන් ගත් තැන සිට ලේ සෙලවීම මාර ආවේගයකට පෙරළුණ අතර උතුර සුන්නද්දූලි කර හෝ ලංකාව බේරා ගන්නා මට්ටමට ජාතිය හා ආගම කුලප්පු කිරීමට හොඳ බාන් බුරුතු පිටින් සොයා ආයෝජනය කරමින් බලය ගැනීම සහ රැකීමට අවශ්‍යය ක්‍රියාමාර්ග ගැණින.
මේ මොහොතේ ඒවා අවලංගු වී, පවතින ක්‍රමය යටතේ සතුටු විය හැකි ද්‍රව්‍ය සීමා කර ඒ අතර ඉහළින්ම ක්‍රිකට් ද තබා තිබිණ. ඒ නිසා දේශපාලකයෝ කළේ තමන්ගේ පැත්ත වහගෙන ක්‍රිකට් සතුට උදුරා ගැනීමේ චූදිතයන් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පත් කිරීමය. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් ද චෝදනා එල්ල වෙමින් තිබේ.එහෙත් වැදගත්ම දේ මේ ගහමරා ගැනිලි විසින් ක්‍රිකට් තහනම දිගු වීම මිස එය නිමා වීම නොවේය.
දැන් අලුතෙන්ම පොම්ප කරගෙන යන මතය මාස ගණනකට ක්‍රිකට් නැතුව තබා හෝ එය මේ සිටින පිරිසගෙන් පිටත පිරිසකට ලබා දෙන්න කීමය. දැනට ක්‍රිකට් ආයතනයට ආධාර නවතා ඇත. ඒ සමඟ ඉහළ සිට පහළට ක්‍රිඩාංගණ සුළු සේවකයන් දක්වාම වැටුප් නවතින්නේය. මේ කාලයේ ආර්ථික අර්බුදය අබිමුව රටේ වැඩ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දුන් සහයෝගය නවතින්නේය. පිළිකා ඖෂධ සඳහා, ළමා ශල්‍යකර්ම සඳහා මෙන්ම තවත් ක්‍රීඩාවන් සඳහා ද ඔවුන් දායක විය. නෙට්බෝල් ආසියානු කුසලානය සඳහා ක්‍රීඩිකාවකට ලක්ෂ 20 බැගින් දුන්නේය. ආසියාව දිනුව මලල ක්‍රීඩා දක්ෂතා අගයන්න වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 280 කි. ක්‍රීඩා අරමුදලට ලක්ෂ සියයක් දී ක්‍රිඩා අමාත්‍යංශයේ සුබ සාධක සමිතියට ද මුදල් දී ඇත.
ඉහත දක්වා ඇත්තේ කිහිපයකි. ඒවා දක්වා ඇත්තේ ඒ දේවල් කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත හොරකම් කිරීමට බලයක් තිබෙන බව කීමට නොවේය. ඒවා විගණන වාර්තා අනුව පරික්ෂා කර ලැබෙන පිළිතුරු සමඟ වැඩ කළ යුතු දෙයකි. එහෙත් ඊට පෙර මේ ආකාරයට ඉක්මන් අතුරු කමිටුවක් අවශ්‍යය වූයේ මන්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් එන පිළිතුර ගැන යමක් හිතන්නට ඇත. ඉහත මුදල් වියදම් කිරීම දෙවැනි කොට ශ්‍රී ලංකා ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් ආදායමෙන් සියයට 20 ක අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ද කීවේය.
ජනතාවගේ පැත්තෙන් මේ ඉල්ලීම සිතුවොත් එපා කියා පාරට බැස්ස පාර්ලිමේන්තුවේ සිටින සාමාජිකයෙක්ට ඔහුගේ විධිවිධාන පරිදි වියදම් කරන්නට තියෙන අරමුදලකට මුදල් දීම අනුමත කළ හැකිද? මේ මොහොතේ ඇහුවොත් උත්තරය සංවේදී ක්‍රිකට් හිත පෑරීමේ පළල පෙන්වමින් ශම්මි හොරා හෝ බෝඩ් එක හොර යනුවෙන් පැවසීමය. නමුත් ක්‍රීඩාවේ හැඩයට සරසා මහා මුදලක් දේශපාලනමය වශයෙන් සිය ප්‍රතිරූපය නංවා ගන්නට යොදවා ගැනීමට ඇමති කෙනෙක්ට හැකියාව මේ අමාත්‍යවරයා භාවිතා නොකරනු ඇතැයි කියන්න මේ දේශපාලන සංදර්භය තුළ ඉඩක් නැත. එසේම ඒ ඉල්ලීම ද සමාන වන්නේ ඇමතිකම යොදාගෙන කරන කප්පම් ඉල්ලීමක මට්ටමකට ය.
මෙතැන සිට ක්‍රිකට් ගැන නොව ක්‍රීඩාව ගැන හිතුවත් මේ අමාත්‍යවරයා රටේ විදේශ සම්බන්ධතා ඇති ඉහළම ක්‍රීඩා තුනම තහනමට දක්කා ගෙන ගොස් ඇත. ඒ දැක්කීම පිටුපස පක්ෂ විපක්ෂ දේශපාලනයද හැදෑරිමකින් තොරව තප්පුලමින් පෙරට යමින් ඇත. දේශපාලකයාට හදාගන්න හදන මේ පිටියේ ඊළඟට පිනුම් ගසන්නට කොයි නැට්ටුවාට අවස්ථාව එයිද කියා දන්නේ නැත. ඒ නිසා දේශපාලකයාට මහා මුදල් කන්දක් එන ක්‍රමයක් ස්ථාපිත කර ගැනීම ඔවුන්ට පෞද්ගලිකව මෙන්ම ඔවුන්ගේ කාර්යභාරයට ද යහපත් නැද්ද? මේ සිදුවන්නේ අයිසීසී ය වෙත බැණ අඬ ගසා බැරිනම් වැඳ නමස්කාර කර හෝ ඒ තත්ත්වය සම්ප්රදායකට පෙරළා ගැනීමය.
ඒ නිසා මේ පාර්ලිමේන්තුව විරුද්ධ වූවා කියා ශ්‍රී ලංකා ක්‍රිකට්, දේශපාලකයාට යටත් කිරීමට අයිසීසීය ඉඩ නොදෙන බව සහතිකය. එයට අයිසීසීය ට බැණ අඬ ගසා පලක් නැත. හොරු මාරුවක් සඳහා සටන් කරනවාට වඩා වැදගත් ක්‍රීඩා පණතේ ඇති ඒකාධිකරය බිඳ දැමීමට අවශ්‍ය යෝජනා අයිසීසීය ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා මව් සංගම් මෙන්ම ඔලිම්පික් කමිටු උපදෙස් සහිතව පළල් සමූහයක් විසින් තීරණය කරන ජාතික ක්‍රීඩා සභාවක් වැනි පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු සංයුතියකට කමිටුවක් ගෙන ඒම ය. ඇමතිවරයාට උපදෙස් දෙන්නට පත් කරන සහ සහයෝගය දෙන්නට පත් කරන කමිටු සේවය කළ යුත්තේ අමාක්යවරයාගේ පදයට නැටීමෙන් නොව රටේ ක්‍රිඩාව වෙනුවෙන්ය. ඒ නිසා ඇමතිගෙන් හෝ පෞද්ගලිකව වරදක් වන්නට තියෙන ඉඩ වැසිය යුතුය. එ් නිසා පාර්ලිමේන්තු නියෝජිතයන් මේ සඳහා නම් කළහොත් පක්ෂ විපක්ෂ සියලු දෙනා එය නියෝජනය වන බැවින් රටේ ක්‍රීඩාව යන්න ක්‍රිකට්වලට පමණක් නොවී අනෙකුත් ක්‍රිඩාවල තත්ත්වයද මහජන නියෝජිතයන්ට දැනගන්නට ලැබෙනු ඇත.