ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා සහ දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320 කට වැඩි මුදලක් 2022 වර්ෂයේදි ගෙවා තිබෙනවා.
මෙම මුදල් ගෙවීම කර ඇත්තේ රජයේ ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් කෝටි 214 කට වැඩි මුදලක්ද රේගු අතිකාල නැව්බඩු පරික්ෂා කිරීමේ ගාස්තු හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදලෙන් රුපියල් කෝටි 106 කට වැඩි මුදලක් ලබා ගෙනයි.
මේ බව සඳහන් වෙන්නේ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවකයි.කෙසේ වෙතත් එම වියදම තහවුරු කිරීමේ සාක්ෂිය ලෙස සේවයට වාර්තා කළ බව සනාථ කෙරෙන ඇඟිලි සලකුණු වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබුණ බව ද එම වාර්තා වේ සඳහන්.
රේගුවේ අංශ හතරක සේවකයන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනයන් ද සහිතව සෑම දිනකම සේවයට වාර්තා කර තිබූ බවයි පැමිණීමේ සහ පිටවීමේ ලේඛන අතිකාල ලේඛන සහ නිවාඩු ලේඛන පරීක්ෂාවේදී හෙළිව තිබෙන්නේ.
මෙම සේවකයන් දිනකට පැය විසි හතරක් දක්වා අතිකාල දීමනා ලබා ගෙන ඇති අතර පැමිණීම සහ පිටවීම පිළිබඳව නිසි සනාථ කිරීමකින් තොරවයි ඉහත ගෙවීම් කරන ඇත්තේ.
එසේම විගණන වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රේගුවට විවිධ ආයතනවලින් අයවීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් කෝටි 2323 කට අධික බවත් එමෙන්ම එම හිඟ බදු ආදායමෙන් රුපියල් කෝටි 1607 ක් නියෝජනය කරනු ලබන්නේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු බවත්ය.
ඉන් රුපියල් කෝටි 1606 කට වැඩි මුදලක් 2019 වර්ෂය හා ඊට පෙර වර්ෂවල සිට පැවත එන හිඟහිට ආදායම වන අතර එම හිඟ ආදායම් 2022 වර්ෂය අවසානය වන තෙක් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව ද විගණන වාර්තා සඳහන්.
මේ අතර ත්‍යාග අරමුදලින් ත්‍යාග මුදල් බෙදා හැරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ගෙන ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතු වුවත් එසේ අමාත්‍යවරයාගේ එකඟතාවය ලබා ගැනීමෙන් තොරව 1999 වසරේ සිට 2022 වර්ෂය දක්වා වසර විසිතුනකදී ත්‍යාග අරමුදල් ලෙස නිලධාරීන්ට රුපියල් කෝටි 2087 ක්ද ඔත්තුකරුවන්ට රුපියල් කෝටි 314 ක්ද ලබාදී තිබු බව වාර්තාවේ සඳහන් වෙනවා.
මේ අතර වාහන එකලස් කරන සමාගම් දෙකක් එකලස් කරන වාහන සඳහා දෙන සියයට 70 ක බදු සහනය ගනිමින් 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා රුපියල් කෝටි 719 ක නිෂ්පාදන බදු ගෙවීම් පැහැර හැර තිබූ බවයි විගණන කාර්යාලය පවසන්නේ.
විදේශීය පෞද්ගලික ආයතනයක් සිංගප්පූරුවේ නැව්ගත කර තිබූ දුම්වැටි තොගයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විමර්ශනයක් පවත්වා ප්‍රති නැව්ගත කිරීමට නියෝග කර තිබූ අවස්ථාවක එහි නිලධාරීන් පිරිසක් මතභේදාත්මක ලෙස මෙම දුම්වැටි තොගය වෙන්දේසි කර විකුණා රුපියල් ලක්ෂ පනස් නවයකට වැඩි මුදලක් උපයා ගෙන තිබූ බව පවසන විගණන කාර්යාලය මෙම වැරදි තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට එම අලාභය ගෙවීමට සිදුවීමෙන් අත් වූ පාඩුව රුපියල් කෝටි 7කට ආසන්න බව ද සඳහන්.
මේ අතර පොල් තෙල් ආනයනය කර එකතු කර ප්‍රති අපනයනය කිරීම සඳහා රේගුවේ ලියාපදිංචි කෙරුණු සමාගම පොල්තෙල් ප්‍රති අපනයනය නොකර වසර ගණනාවක සිට දේශීය වෙළඳපොළට අලෙවි කිරීමෙන් රජයට බදු ආදායම් අහිමි කර තිබූ බව වාර්තාවේ දැක්වෙනවා.
එසේම මීට අමතරව ද වංචා රැසක් සිදු කර ඇති මෙම නිළධාරීන් මෙම විමර්ශනයට අදාළ ගොනුව අස්ථානගත වී ඇති බවට ශ්‍රී ලංකා රේගුව වාර්තා කර ඇති බවත් එම ක්‍රියාවට වගකිවයුතු නිලධාරීන්ට රේගු බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොතිබුණේ යැයිද විගණන වාර්තාව සඳහන් කර තිබෙනවා.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය