අද දින (06) පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ රාජකාරියේ නිරතව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගත් පුවතක් වාර්තා වුණා.
තරුණ නිලධාරියෙක්ද නොවන මේ උපපොලිස් පරීක්ෂකවරයාට වයස 54ක්. නොච්චියාගම පදිංචිකරුවෙක් වූ ඔහු දරු දෙදෙනෙක්ගේ පියෙක් බවද සඳහන් වුණා.
රාජකාරී කාලය තුළ කිසිදු චෝදනාවකට ලක්ව නැති බව කියන මේ නිලධාරියා සිය දිවි නසාගැන්මේ ප්‍රශ්න කිසිවක් තිබුණු බවක් දක්නට ලැබී නැති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
කෙසේ වෙතත්, 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකතන ඇමතුමක් නිසා ඔහු එක්තරා වාහනයක් පරීක්ෂා කරනු ලැබ තිබුණේ පසුගිය දිනකයි. ඒ ඇමතුමෙන් කියැවී ඇත්තේ එහි නීතිවිරෝධී ගිනි අවි ප්‍රවාහනය කරන බවක්. ඔහු රථය පරීක්ෂා කර ගිනි අවි නොතිබීම නිසා එය නිදහස් කර යවා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් අරඹා ඇති අතර හෙට (7) දිනයේ ඊට අදාළව රුවන් කුමාර නම් මෙම නිලධාරියාට කැඳවීමක් කර තිබුණ බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
මෙම සිදුවීම නිසා ඇති වූ සිත්තැවුළකින් ඔහු සියදිවි නසාගත්තේ යැ යි සැකයක් පවතින බවයි සඳහන් වන්නේ.