සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ පැටිකිරිය මෙන්න!

අතුරුගිරියේදී ඊයේ (8) දින එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුමුවට පත් වුණා. කිහිප දෙනෙක් තුවාල ලැබුවා. මේ මරුමුවට පත් වුණු දෙදනාගෙන් එක් අයෙක් ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා බවයි පසුව අනාවරණය වූයේ.

සුරේන්ද්‍ර වසන්ත යන අය සමාජ ශාලා සම්බන්ධ ව්‍යාපාරිකයෙක් බව ප්‍රකටයි. ඔහු ෆේස්බුක් අඩවියේද සාමාජිකයන් ලක්ෂ 6කට වැඩි පිරිසක් සිටින ගිණුමක හිමිකරුවෙක්ව සිටියා. එසේම ඔහු වීඩියෝ සහ සටහන් යොදමින් ක්‍රියාකාරීව සමාජ මාධ්‍ය පරිහරණය කළ අයෙක්.

එසේ ම මෙරට විවිධ දේශපාලන නායකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සමගත් හිතවත් අයෙක් ලෙස ඔහුව හඳුනාගැනෙනවා.

සුරේන්ද්‍ර වසන්ත ව්‍යාපාර ලෝකයට පිවිසෙන්නේ, නුවරඑළියේ ආරම්භ කරන ලද සන්හිල් නමැති හෝටලයකින්. ඔහු ම පවසා ඇති පරිදි එය ආරම්භ කර ඇත්තේ ඔහුට වයස අවුරුදු 17 දී. එම ව්‍යාපාරයේ සභාපති වන ඔහු 90 දසකයේ සිට කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක හෝටල් සහ කැරොකෙ සමාජශාලා හිමිකරුවෙක් බවයි පැවසෙන්නේ.

වසන්තට අයත් බව කියන නුවරඑළිය සන්හිල් හෝටලය

නුවරඑළිය සන්හිල් කාමර 20කින් යුක්ත හෝටලයක් බවයි ඔහු පසුව මාධ්‍යයට පවසා ඇත්තේ. ශිෂ්‍යත්වයක් ලැබී ජපානයට ගොස් ජපන් භාෂාව සහ හෝටල් කළමනාකරණය ඉගෙන ගත් වසන්ත නොහොතේ සුරේන්ද්‍ර ජපානයට ගොස් ඉගෙනීම අතරතුර විවිධ රැකියා කළ බව පැවසෙනවා. එයින් උපයාගත් ධනයෙන් ව්‍යාපාර ආරම්භ කළ බවයි ඔහු කියා තිබුණේ. කටුනායක, මීගමුව, කොල්ලුපිටිය, බොල්ගොඩ, ගල්කිස්ස සහ පාසිකුඩා වැනි ප්‍රදේශවල වසන්තට අයත් හෝටල් ඇති බවත් වාහන සහ දේපළ වෙළඳාම් ද කර ඇති බවත් ඒ අතර සඳහන්.

2013 දී ඔහු පොලිස් රථවාහන රාජකාරියට බාධා කිරීම නිසා අත්අඩංගුවට පත් වූ බව පොලිස් පොත්වල සටහන් වෙනවා.

සුරේන්ද්‍රගේ නම මෙරට වඩාත් කතාබහට ලක් වූයේ කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමෙන් පසුවයි. එහිදී සුරේන්ද්‍ර කියා සිටියේ මධුෂ් තමාගේ මිතුරකු නොවන බවයි.

සුරේන්ද්‍රගේ ෆේස්බුක් ගිණුම අනුව ඔහු විවිධ අයට උපකාර කරන දානපතියෙක් ලෙසද කටයුතු කර තිබෙනවා. මිය යන විට 55 හැවිරිදි වියේ පසුවූ ඔහු දරුවන් සිව් දෙනෙක්ගේ පියෙක්.

සුරේන්ද්‍ර තම පුතුගේ විවාහය දා රන් ආලේපිත බව කියන සපත්තු යුගලයක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළ කිරීම 2022 වසරේ ආන්දෝලනයකට ලක් වුණු තවත් සිදුවීමක් වුණා.

කෙසේ වෙතත් ඊයේ ඔහුට එල්ල කෙරුණු ප්‍රහාරය මේ වන විට බොහෝ දෙනා දැක අවසන්. කඩුවෙල, අතුරුගිරිය පාරේ අංක 126 දරණ තැන පිහිටි යුනික් ටැටූ සහ පියර්සිං ස්ටුඩියෝ විවෘත කිරීමට ගිය ඔහු සහ බිරිඳත් ජනප්‍රිය ගායන ශිල්පී කේ. සුජීවාත් තවත් අයත් වෙඩි ප්‍රහාරයට ලක් වුණා. වසන්ත රෝහලට ගෙන යන විටත් මිය ගොස් තිබූ බවත් ඔහුගේ බිරිඳ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සඳහන්.

වෙඩි තැබීමට සුළු වේලාවකට පෙර

මෙම පුද්ගලයන් සහ අපරාධකරුවන් අතර සම්බන්ධය කුමක් වුවත් මහ දවාලේ ක්‍රියාදාම චිත්‍රපටවල මෙන් ස්වයංක්‍රීය ගිනි අවි මහජනයා අතර ක්‍රියාත්මක කර මිනිසුන් ඝාතනය කිරීම සරල දෙයක් නොවන බව බොහෝ දෙනා පවසනවා. සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගන්නා බව පැවසෙන කාලයක මෙය උත්ප්‍රාසාත්මක සිදුවීමක්. ඒ අතර නීතිගරුක සාමාන්‍ය පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය අභියෝගයට ලක්ව ඇති බව කිව යුතු වෙනවා.

1 COMMENT

  1. කෝ යුක්තියකෝ…..සිද්ධාලේප කයිවාරු සුං…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles