රැඟුම් පාලක මණ්ඩලයේ රැඟුම් අහෝසි වෙයි

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය අහෝසි කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලය පිහිටුවන නව පනත් කෙටුම්පත ඒ සඳහා පත්කළ කමිටුව විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ජනාධිපති කාර්යාලයේදී බාර දී තිබෙනවා.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කිරීම පදනම් කරගනිමින් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත සැකසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටිගේ සභාපතිත්වයෙන් යුක්ත කමිටුවක් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

සිනමාවේදී අශෝක හඳගම, නාට්‍යවේදී රාජිත දිසානායක, නිර්මාණවේදිනී අනෝමා රාජකරුණා සහ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක යන අය එම කමිටුවේ සාමාජිකයෝ වන අතර මෙහි චිත්‍රපට, වේදිකා නාට්‍ය හා ප්‍රසංග කලාවට සම්බන්ධ විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කර, ජාත්‍යන්තර නව ප්‍රවණතාවන් සහ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව කෙටුම්පත සකස් කොට ඇති බව සඳහන් වෙනවා.

මේ වන විට ක්‍රියාත්මක වන 1912 දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත පරිච්ඡින්න කොට මෙම නව පනත ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත බවත් වර්තමානයේ කලා නිර්මාණයන් සම්බන්ධයෙන් මතුවන බොහෝ ගැටලු සඳහා මෙම පනත ඔස්සේ විසඳුම් ලබා දී මෙය ක්‍රියාත්මක කරලීම සමඟ ම නිර්මාණ නිදහස පූර්ණ ලෙසම ආරක්‍ෂා වන බවත් කමිටු සභාපති සමන් අතාවුදහෙට්ටි කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles