තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවලින් මුදල් රැස් කරන බවට චෝදනා එල්ලවීමෙන් පසු MTFE SL Group නම් ආයතනය සම්බන්ධයෙන් මහබැංකුව විමර්ශනයක් ආරම්භ කර තිබුණා. මෙම සමාගමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් හෙළිවුණ කරුණු අනුව මූලික විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙම සමාගම පිරමීඩාකාර මුදල් ගනුදෙනු සිදු කරන සමාගමක් බවයි.
මේ අනුව මහබැංකුව විසින් තම පරීක්ෂණවලට සමගාමීව පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද දැනුම් දී තිබුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ වෙත 2023.08.09 දින ලිපියක් මගින්.
සමාගම් මැදුරේ ලියාපදිංචිය අනුව හෙළිකරගත් තොරතු අනුව මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස රන්දුනු දේවගේ දුමින්ද තුෂාර ජයවංශ, රන්දුනු දේවගේ ඉන්දික නිරන්ජන් ජයවංශ, විතානගේ කනක නලින් ගුණසේකර යන අය හඳුන්වා දී තිබුණා. මොවුන් විදේශගත විය හැකි බවට ද එම ලිපියේ දැනුම් දී තිබුණා.
තත්වය මෙසේ දැනුම් දී තිබියදීත් අද උදෑසන 3.50 ට පමණ පිටත් වූ EK 649 ගුවන් යානයෙන් මෙහි ප්‍රධාන සැකකරුවෙක් ලෙස මහබැංකුව හඳුනාගෙන ඇති ඉන්දික නිරන්ජන් ජයවංශ යන අය රටින් පිටව ගොස් තිබෙනවා. පසුගිය 9 වැනිදා දැනුම් දී තිබිය දීත් මෙම පුද්ගලයා විදේශගත වීම වැළැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත්ව ඇති බව පෙනී යන්නේ.
මහබැංකුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියාට යොමු කරන ලද ලිපිය පහත දැක්වෙනවා.