නිලන්ත ජයවර්ධනට එරෙහි රිට් පෙත්සමට ලැබුණු අධිකරණ නියෝගය

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියේාජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලා‍ ගොනු කර ඇතී රිට් පෙත්සමට තමන් පෙනී සිටින්නේ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පමණක් බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අද (29) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ වින්දිත පියකු වන සුරාජ් නිලංග යන අය විසින් ගොනු කළ මෙම රිට් පෙත්සම අද කැඳවූයේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකාරුණා සහ ධම්මික ගණේපොල ඉදිරියේය.

ඒ අනුව නීතිපතිවරයා දෙවැනි වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී නොසිටින බවට දැනුම් දුන්නේ මෑතකදී බැවින් නඩුවට සූදානම් වීමට කල් අවශ්‍ය බවත්, සීමිත විරෝධතා ගොනු කිරීමට කාලය අවශ්‍ය බවත් නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර දැනුම් දෙනු ලැබුවා.

නීතිපතිවරයා ද නඩුවට අදාලව සීමිත විරෝධතා ගොනු කර නොතිබුණු අතර සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා තමන්ට ද කාලය අවශ්‍ය බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර එහිදී දැනුම් දුන් අතර නීතිපතිවරයා සීමිත විරෝධතා ගොනු කරන්නේ නම් ඒ සමග දැනට නිලන්ත ජයවර්ධන වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න නීතිපතිවරයා දැනුම් දෙන්නේ නම් එය මෙම නඩුවට පහසුවක් වනු ඇතැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අර්මිසා ටීගල් ප්‍රකාශ කළා.

එම කරුණු සලකා බැලූ අධිකරණය සීමිත විරෝධතා ඇත්නම් ගොනු කිරීම සඳහා වගඋත්තරකාර පොලිස්පතිවරයාට, නීතිපතිට සහ නිලන්ත ජයවර්ධනට සති තුනක කාලයක් ලබා දුන් අතර ඊට ප්‍රතිවිරෝධතා ඇත්නම් දෙසතියක් තුල ගොනු කරන ලෙස පෙත්සම්කරුවන්ට දැනුම් දුන් බව සඳහන්.

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ වගකීමක් නිලන්ත ජයවර්ධනට ඇති සාක්කිද සමග තමන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළ බවත්, එම පැමිණිල්ලට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා කටයුතු කර නැති බවත්, එසේ හෙයින් නිලන්ත ජයර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස පොලිස්පතිට සහ නීතිපතිට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමේ පළමු ඉල්ලීම මගින් ඉල්ලා තිබෙනවා.

එසේම පාස්කු ප්‍රහාරයට අදාල මූලික අයිතිවාසිකම් නඩුවලදී ලබා දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම මගින් ඉල්ලා ඇති බව සඳහන්.

අදාළ නඩුව සලකා බැලිම සඳහා ලබන ජූලි 25 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles