චොක්ලට් එකේ මිනිස් ඇඟිලි කොටස : සිදුවන්නේ කුමක් ද?

මහියංගණ රෝහලේ හෙද නිලධාරිනියක් ආපනශාලාවෙන් මිල දී ගත් මෙරට ප්‍රසිද්ධ චොකලට් සමාගමක් විසින් නිෂ්පාදනය කළ චොකල්ට් එකක් තුළ තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමු වීම මේ වන විට බොහෝ ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.

මෙය වෙළඳ සමාගමේ ප්‍රචාරක කටයුත්තක් හෝ වෙළඳ සමාගම් අතර තරඟය නිසා සැලසුම් කළ දෙයක් ආදී වශයෙන් විවිධ මතිමතාන්තර පැතිර යනවා.

කෙසේ වෙතත්, Lankaline අප මේ පිළිබඳව සොයා බැලීමක් කරනු ලැබුවා. ඒ අනුව හෙළිදරව් වූයේ මෙය ප්‍රචාරක කටයුත්තක් උදෙසා සිදු කරනු ලැබූවක් නොව සැබෑවටම සිදු වූවක් බවයි.

මේ බව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තහවුරු කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙය අධිකරණයට භාර කටයුත්තක් බැවින් වැඩිදුර තොරතුරු ලබා දීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැලිකමක් දක්වනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.අයි. බෝපිටියගේ අමතා විස්තර විමසූ විට ඔහු පසුව තොරතුරු ලබා දෙන බව දැන්වූවද ලිපිය පළ කරන අවස්ථාව වන විටත් ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

ක‍ෙසේ වෙතත් රෝහල් ආපනශාලාවේ මෙම චොක්ලට් වර්ගයට අයත් අනෙක් චොක්ලට් කාණ්ඩයද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන තිබෙනවා. දැනගැනීමට ඇත්තේ වෙනත් සිදුවීම්වලදී මෙන් නොව, මෙහිදී හමුවී ඇත්තේ මිනිස් ශරීර කොටසක් නිසා සාමාන්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂක පටිපාටියෙන් කටයුතු කිරීමට නොහැකි බැවින් හෙට ලැබෙන අධිකරණ නියෝගය අනුව ඉදිරි කටයුතු කෙරෙන බවයි.

මහියංගනය පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මෙවැනි සිදුවීමක් සම්බන්ධ පරීක්ෂණයක් ගැන තමන්ට නිල දැනුම් දීමක් මෙතෙක් ලැබී නොමැති බවත්, එවැනි නියෝගයක් ලැබුණහොත් එයට අනුව පොලිසිය ක්‍රියාකරන බවයි.

හෙට අධිකරණයේ දී මේ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles