බ්‍රිතාන්‍යයට යන්න උදව් කරන්නැයි ආගමන නිලධාරියා විදෙස් කතට කරදර කරලා!

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එක්තරා නිලධාරියෙකුගේ ක්‍රියාකලාපයක් නිසා රටම අපකීර්තියට පත් වූ සිදුවීමක් Lankaline වෙත වාර්තා වුණා.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ මෙරට සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක්. ඇය බ්‍රිතාන්‍ය ජාතිකයකු සහ ආවාහ වී දරුවන් ද සිටින තැනැත්තියක්. මෙරටට පැමිණ සිය සංචාරක වීසා දීර්ඝ කරගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගිය විටයි මෙම සිදුවීම සිදු වී තිබෙන්නේ.

එම දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු සුහදශීලිව සහ කාර්යක්ෂ්මව සිදු වුවත් ගෙවීම් කවුන්ටරය වෙත පැමිණි පසු එහි සිටි නිලධාරියා ඇගෙන් දුරකතන අංකය ඉල්ලා තිබෙනවා. එක වරකින් නොනැවතී දිගින් දිගටම ඇගේ අංකය ඉල්ලා ඇති ඔහු කියා තිබෙන්නේ, ඇයට whatsapp හරහා කතා කිරීමට තමන්ට අවශ්‍ය බවයි.

ආයතනය වසා දැමීමට ආසන්න අවස්ථාව වන තුරු ඇයගේ වීසා දීර්ඝ කිරීම සඳහා ඇය රඳවා ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

“ඊළඟට ඔහු මගෙන් ඇහුවා මගෙ සැමියා මා සමඟ මෙහි නොපැමිණි හේතුව..ඔහුට එක්සත් රාජධානියට යෑමට උපකාර කරන්නැයි කියමින් ඔහු මට වදයක් වුණා.. මම ඔයාට කතා කරන්න අහන්නෙ.. මොකක්ද ප්‍රශ්නය කියලා ඇහුවා. මගේ ගෙවීම බාර නොගෙන අපහසුතාවට පත් කළා. ඒ විතරක් නෙවෙයි, ගෙවිය යුතු ගාස්තුව මෙන් කිහිප ගුණයක මුදලක් ඔහු මට සඳහන් කළා..”

ඇය සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් මෙය හෙළිදරව් කර ඇති අතර බොහෝ දෙනෙක් ඊට සිය ප්‍රතිචාර දක්වා තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ සියලු තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත දැනුම් දී තිබෙන බව පසුව වාර්තා වුණා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇයට හමුවූ අනෙක් සියලු සේවකයන් ඉතා සුහදශීලිව සහ කාර්යක්ෂ්මව ඇගේ කටයුතු ඉටු කළ බව ඇය දිගින් දිගටම අවධාරණය කර තිබුණා.

වාර්තා නොවී මෙවැනි සිදුවීම් කොතරම් සිදුවනවාදැයි කිසිවකු නොදන්නා අතර මෙම සිදුවීමට මුහුණ දුන් කාන්තාව මෙය හෙළිදරව් නොකළේ නම් කිසිවකු එය දැනගන්නේ ද නැහැ. මෙවැනි අලජ්ජි ක්‍රියා සිදුකරන නිලධාරීන් නිසා අපකීර්තිමත් වන්නේ ආයතනයක් නොව රටක් බව ඇයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා කියා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles