ජාතික ඖෂධ නියාමන අධිකාරි පණතට අනුව පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ගණන් දෙගුණ තෙගුණ කරමින් ඖෂධ අලෙවි කිරීම සම්බන්ධයෙන් නාරාහේන්පිට ආසිරි රෝහලට විරුද්ධව නඩුවක් පවරා තිබුණා. නුගේගොඩ පදිංචි සනත් අතුකෝරළ නමැති අය සිය මවගේ රෝගී තත්වයට ප්රතිකාර ගැනීමේදී මේ අකටයුත්ත සිදුව ඇති අතර ඔහු ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි නඩුව පවරා තිබුණේ. අප පසුගිය දා වාර්තා කළේ එම නඩුව හදිසියේ වැඩබලන මහේස්ත්රාත්වරයෙක් ඉදිරියේ කැඳවූ පසු එම රෝහල් සමාගම නියෝජිතයෙකු මගින් වරද පිළිගෙන රු. 25000ක් පමණ දඩයක් ගෙවා නඩුව අවසන් කරගෙන ඇති බවයි. මෙහි යම් නොගැලපෙන බවක් ඇති බව නීති ක්ෂේත්රයේ ම කතාබහට ලක්ව තිබුණා.
කෙසේ වෙතත්, පසුගිය 2 වැනිදා මෙම නඩුව සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරයෙක් මෝසමක් මගින් නැවත කරුණු දක්වා තිබුණා.
එහිදී ඔහු අධිකරණයට දන්වා තිබුණේ මේ නඩු කටයුත්තේ දී අරුම පුදුම දේ සිදුව ඇති බවයි. ප්රධාන මහේස්ත්රාත්වරියවත්, පැමිණිලි පාර්ශ්වයවත් නැතිව රෝහලේ පාර්ශ්වය නඩුව කැඳවාගෙන තීන්දුවක් ලබා ගෙන තිබීම නඩුව හොරෙන් පැහැරගෙන යෑමක් බඳු බව ඔහු කරුණු දක්වා තිබුණා.
මෙම විත්තිකාර පාර්ශ්වය බලය පැවරූ අයෙකු හරහා වරද පිළිගෙන ඇති බව පැවසූ නීතිඥවරයා මෙය අපරාධ නඩුවක් බැවින් එසේ කළ නොහැකි බව කියා සිටියා.
කෙසේ වෙතත්, නීති ක්ෂේත්රයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පණවා ඇති අදාළ දඩය ඉතා සුළු එකක් බවයි. චෝදනා 11කට අදාළව රුපියල් ලක්ෂ 10 ඉක්මවූ දඩයක් ලැබිය හැකිව තිබුණු බව ඔවුන් පවසනවා.
එසේ ම පැමිණිල්ලේ නීතිඥවරයා කියා සිටියේ, මෙවැනි වරදක් පිළිගත් පසු උක්ත පණතට අනුව ජනතාවගෙන් සමාව ඉල්ලා සිංහල, දෙමළ, ඉංග්රීසි පුවත්පත්වල අඟල් 10 X 10 ප්රමාණයේ දැන්වීමක් පළ කළ යුතු වුවත් අදාළ නඩු තීන්දුවේ එය නොමැති බවයි.
මෙහිදී අදහස් දැක්වූ මාළිගාකන්ද ප්රධාන මහේස්ත්රාත්වරිය වන ලෝචනී අබේවික්රම කියා සිටියේ මේ තොරතුරු දැනගැනීමෙන් තමාද විශ්මයට පත් වූ බවයි. කිසිම අවස්ථාවකදී වැඩබලන මහේස්ත්රාත්වරයෙකුට දඬුවම් නියෝගයක් නිකුත් කළ නොහැකි බව ඇය වැඩිදුරටත් කියා තිබුණා. මේ නඩුවේ යම් කිසි ගැටලුවක් තමාටද නිරීක්ෂණය වන බවයි ඇය පවසා ඇත්තේ.
මෙහි දඬුවම් නියම කර ඇති ආකායේ ගැටලු ඇතැයි කී මහේස්ත්රාත්වරිය, විත්තිකරුවන්ට චෝදනා සම්බන්ධයෙන් වෙන් වශයෙන් දඬුවම් නියම කළ යුතු බව සේම මෙසේ සුළු දඩ මුදලක් නියම කළ නොහැකි බවද කියා සිටියා.
සියලු කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරිය, මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇති ආසිරි රෝහල, එහි අධ්යක්ෂවරුන් පිරිසට ලබන මස 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරනු ලැබුවා.