පොළොන්නරුවේ සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයට ගෙනවිත් ජනතා සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය කැලෑ වැදී විනාශ වෙමින් පවතින බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවූ බව එහි සභාපති මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා.
නිලධාරීන්ගේ කඹ ඇදීමක් හේතුවෙන් වසර පහකට වැඩි කාලයක් තිස්සේ මෙම ගොඩනැගිල්ල විනාශ වෙමින් පවතින බවයි ඔහු අවධාරණය කරන්නේ.
මෙම ගොඩනැගිලි සංකීර්ණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබ ඇත්තේ රුපියල් කෝටි 101 ක පමණ වියදමින් වන අතර එහි වර්ග අඩි ප්‍රමාණය එක් ලක්ෂ හතළිස් එක්දහසක්.
මෙම ස්ථානයේ වායු සමීකරණ ඇතුළු පහසුකම් නැති හෙයින් ඊට යා නොහැකි බව ආයතන ගණනාවක නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි එම කමිටුවේදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ඇතැම් ආයතන ප්‍රධානීන් මේ ස්ථානයේ පදිංචියට යෑමට කැමැත්තෙන් සිටියත් මෙතෙක් කිසිවකුගෙන් හෝ ඒ සඳහා උපදෙස් ලැබී නැහැ.
මෙම ස්ථානයේ කුලී මුදල වැඩි නිසා පැමිණිය නොහැකි බවට සමහර ප්‍රධානීන් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති අතර ඒ අවස්ථාවේදී මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම කුලී මුදල් ගෙවන්නේ මහා භාණ්ඩාගාරයෙන් හෙයින් ඒ ගැන ගැටළුවක් ඇති කරගත නොගත යුතු බවයි.
එසේම මෙම ගොඩනැගිල්ල ජරාවාස වෙමින් පවතින හෙයින් එය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශාඛාවක් පිහිටුවීම සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතත් එම තීරණයද ක්‍රියාත්මක කිරීම නිලධාරීන් මගහැර ඇතැයි කමිටුවේදී තොරතුරු හෙළි වී තිබෙනවා.
රාජ්‍ය ආයතන මේ ස්ථානයට පැමිණීමට අකමැති වන්නේ ඇයි දැයි සොයා බලා හැකි ඉක්මනින් වාර්තාවක් සපයන ලෙස කමිටු සභාපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී ඇති අතර එසේම සියලු රාජ්‍ය ආයතන මේ ස්ථානයට කැඳවාගෙන විත් මාස හයක කාලයක් ඔවුන්ට එහි මුදල් අය කර ගැනීමකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් වසරක කාලයක් එහි නඩත්තු ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් ගෙවන ලෙසත් කමිටුව මෙහිදී වැඩිදුරටත් නිර්දේශ ඇතැයි වාර්තා වෙනවා.