අවුරුදු උදාවෙයි : උදෑසන නැකැත් සීට්ටුව ප්‍රායෝගිකයි -සෝභිත හිමි

රාජ්‍ය නැකැත් කමිටුව විසින් සම්පාදනය කරන ලද සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව අද (13) අපරභාග 9.05ට යෙදෙන සුබ මොහොතෙන් අලුත් අවුරුද්ද උදාවෙනවා.

අපරභාග 02.41 සිට ඉරිදා (14) 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබෙනවා. එබැවින් අපරභාග 02.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනැවි යනුවෙන් නැකැත් පත්‍රයේ සඳහන් වෙනවා.

ආහාර පිසීමේ නැකැත අද රාත්‍රී 11.06ට යෙදී ඇති අතර නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනිමොලවා තල් උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගත යුතු බවද සඳහන්.

වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය මධ්‍යම රාත්‍රී 12.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ.

ඒ අතර ජාතික නැකැත් කමිටුව නම් සංවිධානයක් විසින් විකල්ප අවුරුදු නැකැත් සීට්ටුවක්ද ඉදිරිපත් කර තිබීම මේ වසරේ කැපී පෙනුණා.

ඔවුන්ගේ ජ්‍යොතීර්වේදී දැක්ම අනුව මෙවර අලුත් අවුරුදු උදාව 13 වැනිදා අපරභාග 9.05ට සිදුවනු ඇති.

පුණ්‍ය කාලය අප්‍රේල් 13 වැනිදා අපරභාග 2.41 සිට අප්‍රේල් 14 වැනිදා අලුයම 3.29 දක්වා යෙදී තිබෙනවා.

ඒ අනුව සංක්‍රාන්තිය අවසන් වූ පසු අප්‍රේල් 14 වන දින සූර්ය උදාව සමඟ චාරිත්‍රානුකූලව අලුත් අවුරුද්ද සැමරීම සුදුසු වනු ඇති.

ලිප ගිනි මෙළවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වනදා පූර්වභාග 6.17ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකළ යුතුයි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදිනම පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී සිදු කරන ලෙසයි ජාතික නැකැත් කමිටුව ඉදිරිපත් කර ඇති නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

ඒ අතර ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා ඇත්තේ, බුදු දහම අනුව නැකැත් වැනි දේට මුල් තැන නොදුන්නත් උදෑසන නැකැත් සීට්ටුව වඩා ප්‍රායෝගික බව තමන්ගේ අදහස බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles