පොලිසිය නැවතත් නා ගනී – කවියා නිදොස් කොට නිදහස්

කවි පොතක් ලියා පළ කර ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන අත්තෝනමතිකව දින 600කට ආසන්න කාලයක් සිරගත කරනු ලැබ තිබූ කවියෙකු සහ ගුරුවරයෙකු වන අහ්නාෆ් ජසීම් අද දින (12) නිදොස් කොට නිදහස් කරන්නට අධිකරණය කටයුතු කර තිබෙනවා.

2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය හේතුවක් කරමින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූවද ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අසමත් වී ඇති බව තීරණය කළ පුත්තලම මහාධිකරණය විසින් ඔහුව නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පොලිසිය අත්අඩංගුවට ගත් නවරසම් කෘතියේ පිටපත් 100ක් සහ ඔහුට අයත් ලැප්ටොප් පරිගණක ගැන ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය විල්සන් විසින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් අධිකරණය පැවසුවේ නඩු භාණ්ඩ ලෙස ඒවා ඉදිරිපත් කර නැති බවයි. උසාවි නියෝගයක් පිටපතක් ලබා ගෙන ඒවා ඇති තැනකින් නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙස ද අධිකරණය උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් වසර දෙකකට ආසන්න කාලයක් සිරගත කර තැබූ අහ්නාෆ්ට කෘෘර ලෙස සැලකූ බවට වාර්තා පළ වුණා. එපමණක් නොව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිජාස් හිස්බුල්ලාට එරෙහිව සාක්ෂි දෙන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටි බවද ඔහු අධිකරණයේදී පවසා තිබුණා.

ICCPR පණත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ආදිය යොදාගෙන පොලිසිය විසින් පුද්ගලයන් නිකරුණේ අත්අඩංගුවට ගෙන රඳවා හිරිහැර කිරීමත් වසර ගණන් දඟගෙයි දැමීමත් අවස්ථා කිහිපයකදී හෙළිදරව් වුණා.

මෙම සිදුවීමේදීද ඔප්පු වූයේ එයයි. පසුගිය ද එලෙසම චෝදනා නගා අත්අඩංගුවට ගත් රම්සි රසීක් ලේඛකයා පැවරූ නඩුවකින්ද ඔහු ජයගත්තා. ඔහු වෙත රුපියල් මිලියනයක වන්දියක් ගෙවන්නැයිද රජයට නියෝග කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles