යතුරු පැදිය නවතන්න ගිය පොලිසියට පිහි පහර

අද (01) උදෑසන නාරාහේන්පිට උද්‍යාන පාරේදී පොලිස් නිලධාරියෙකුට පිහියකින් හා බෝතලකින් පහරදී පළායාමට උත්සාහ දැරූ සැකකරුවන් තිදෙනෙකෙුගේ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලීසිය පවසනවා.

තුවාල ලද නිලධාරියා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

හැව්ලොක් නිවාස සංකීර්ණය ඉදිරිපිට රථවාහන රාජකාරියේ සිටි පොලිස් සැරයන්වරයෙකු සහ තුවාල ලද කොස්තාපල්වරයා කොළඹ දෙස සිට හැව්ලොක් පාර ඔස්සේ කිරුළපන දෙසට ධාවනය වෙමින් තිබූ තිදෙනකු රැගත් යතුරුපැදියක් නවතා තිබු අතර අනතුරුව යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් පරීක්ෂා කිරීමට යාමේදී ඔවුන් තිදෙනා නාරාහේන්පිට උද්‍යාන පාර දෙසට දිවගොස් තිබෙනවා. පසුව පොලිස් නිලධාරීන් දෙදෙනාද යතුරුපැදියෙන් සැකකරුවන් පසුපස හඹා යාමේදී එක් සැකකරුවකු කොස්තාපල්වරයාගේ වම් අතට පිහියකින් හා වීදුරු බෝතලයකින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමගම ප්‍රදේශවාසීන් ද එම ස්ථානයට රැස්වී ඇති අතර පොලිස් නිලධාරීන් සමඟ එකතුව සැකකරුවන් අල්ලා ගෙන ඇති අතර එක් සැකකරුවෙකු සිද්ධියත් සමඟම පළාගොස් තිබෙනවා.

සැකකරුවන් පැමිණි යතුරුපැදිය පෙර දින වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles