වැල් පාලමෙන් නම් එගොඩ වුණා-දැන් වංගගිරියක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ගොස් පමණක් ඒවායෙන් ඉවත් විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

ඔහු රට භාර ගන්නා විට පැවසූ සඳහන සිහිපත් කරමින් ජනපතිවරයා පැවසුවේ වැල් පාලමෙන් දැන් එතෙරව ඇති නමුත් ඉදිරියට ඇත්තේ වංගගිරියක් බවයි.

එහිදී ජනපතිවරයා පැවසූ අදහස්වලින් කොටසක් පහතින්,

“මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන්  පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා. මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය භාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ කිසිවෙක්ට ඉස්සරහට එන්න ධෛර්යක් තිබුණේ නෑ.. මම ඒ අභියෝගය භාරගත්තා…

එදා මම කිව්වා ලංකා මාතාව අනතුරුදායක වැල් පාලමෙන් එගොඩ කරන්න කැප වෙනවා කියලා. මට තිබුණේ අධිෂ්ඨානය හා කැපවීම විතරයි. මගේ පක්ෂය නියෝජනය කරන එක මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. මේ වැල් පාලමේ ගමන ගැන සමහරු උපහාස කළා. අපහාස කළා. ඒත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු මට සහාය දුන්නා. ඒ අයටත් විවිධ අපහාස, උපහාස කළා. ඒ වගේම රටේ ජනතාව මට සහාය දුන්නා. ඔවුන් රට වෙනුවෙන් විවිධ අපහසුතාවයන්ට සහාය දෙමින් මේ ගමනට සහාය දුන්නා. 

වැල් පාලමෙන් එගොඩ වුණත් මෙතැනින් එහාට තියෙන්නේ වංකගිරියක්. හරි පාරේ ගියේ නැත්නම් අපි අතරමං වෙනවා. වල්මත් වෙනවා. මේ ගමනේ දී වැට් බද්ද ඇතුළු බදු නිසා සමාජයේ එක් කණ්ඩායමක් අසීරුතාවයට පත්වෙලා ඉන්න බව අපි දන්නවා. අපි බදු පැනවුයේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් ඒ හැර වෙනත් මඟක් අපිට තිබුණේ නෑ. IMF කොන්දේසිවලට යටත් වෙනවා නම්. රටක් පාලනය කරන්න ආණ්ඩුවක් මොකටද කියලා සමහරු තර්ක කරනවා. බලයට ආවහම IMF එකට තමන් කොන්දේසි දාන බවට ඔවුන් වාසි බස් දොඩවනවා. ඇත්තටම මේවා බොළඳ කතා. මෙවැනි කතා කියන්න පුළුවන් වෙන්නේ ආර්ථිකය ගැන මොන්ටිසෝරි දැනුමක් තියෙන අයට. මතක තියා ගන්න අපිට IMF කොන්දේසිවලින් ඉවත් වන්න පුළුවන් වන්නේ, මේ කොන්දේසි යටතේ මේ මාර්ගයේ ඉදිරියට ගොස් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගත්තොත් විතරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles