ජනපතිට පෙරේතකමක් නෑ, ආර්ථිකය හදන්නයි ඕන : රංගේ

මේ අවස්ථාවේ සිදු කළ යුතුව ඇත්තේ මැතිවරණ පැවැත්වීම නොවන බවත් ජනපතිවරයාගේ කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

“දැන් මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න තියෙනවා, රටේ ආර්ථිකය හදන්න තියෙනවා, IMF සහ ජාත්‍යන්තර සංවිධාන සමග අපේ එකඟතාවයන් තියෙනවා. මේ එකඟතාවයන් අපි කඩකරගත්තොත් නැවතත් අපි යන්නේ අර 2022 තිබුණ තැනට. ඉතින් අපි දැන දැන එතැනට ගිහිල්ලා විනාශ වෙනවා ද ? එහෙම නැත්නම් පොදු එකඟතාවයකට ඇවිල්ලා අවුරුදු දෙකකට මේ දෙකම දික් කරනවා ද ? ජනාධිපතිතුමාට ඉන්න පෙරේතකමට නෙමෙයි. අපියි මේ කියන්නේ . පාර්ලිමේන්තු ඡන්දයකට ගිහිල්ලා ආපහු නාස්ති කරන්න එපා. දෙකම අවුරුදු දෙකකට කල් දාන්න, ඒ අවුරුදු දෙක ඇතුළත මේ ප්‍රශ්න ටික නිරවුල් කරගෙන මැතිවරණයට යන්න පුළුවන්.”

අද (28) දින සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කරනු ලැබුවා.

තවදුරටත් අදහස් පළ කළ ඔහු මෙසේද කියා සිටියා.

මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා වර්ධනය කරගනිමින් යන ගමනක් අපිට පෙනෙන්නට තිබෙනවා. ජාත්‍යන්තරය සමග තිබෙන එකඟතාවන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ සම්බන්ධ දැනුම සහ හැකියාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සතුවයි කියන එක අපි දන්නව. ඒ නිසා තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුව තුළ යෝජනාව සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. ජනමත විචාරණයකට ගිහිල්ලා එය තහවුරු කර ගැනීම ඉන්පසු සිදු කරගත යුතු වෙනවා. වඩා ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුව ඒ ඉටු කළ යුතු වෙනවා. ඒ නිසා අනෙකුත් දේශපාලන පක්ෂවලින් ඉල්ලන්න තියෙන්නේ මැතිවරණ සිතියම අකුලනවා වගේ කතාවක් නොකියා මේ ක්‍රියාවට ඉඩ දෙන්නට සහයෝගය දක්වන ලෙසයි. පාර්ලිමේන්තුවේ නියෝජිතයෙන් 225දෙනා තේරී පත්වෙලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් තුළයි. ඒ නිසා ඒ තුළ ජනතාවගේ මතය නියෝජනය වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ බහුතරය සහ ජනමත විචාරණය කියන්නේ මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සිද්ධ වෙන කාරණයක් බව සඳහන් කළ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles