ගාසාවලට එකක් අපිට තව එකක් ඒවා ඔට්ටු නෑ! ජනපති ජාත්‍යන්තරයට අවවාද කරයි

ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බව ජනපතිවරයා පවසනවා.

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවිට ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලබා දෙන බවද කියා සිටියා.

එසේ සාධාරණත්වයක් නොමැති නම් ශ්‍රී ලංකාව විසින් ඊට පිළිතුරු සැපයිය යුතුදැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පිළිබඳ සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ සෑම රටක්ම මෙම තීරණාත්මක ප්‍රකාශය සමඟ අනුගත විය යුතු බවයි.

ඔක්‌තෝබර් 7 වැනිදා හමාස්‌ සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක්‌ එල්ල කළ අවස්‌ථාවේ ශ්‍රී ලංකා රජය එම ක්‍රියාව කඩිනමින් හෙළා දුටු බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ත්‍රස්‌තවාදය හෙළා දකින අතරම පලස්‌තීන රාජ්‍යත්වය පිළිබඳ මූලධර්මයට ශ්‍රී ලංකාවේ සහයෝගය යළිත් තහවුරු කළ බවත් පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිදු වූ මෙම හෙළා දැකීම, ජාත්‍යන්තර නීති සහ රීති රාමුව තුළ ඊශ්‍රායලයට පළිගැනීමේ අයිතියට ඉඩ සැලසූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, එවැනි මූලධර්ම විශ්වීය වශයෙන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොතිබීම පිළිබඳව සිය කනස්සල්ල පළ කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට අනුව ගාසා තීරයේ මිනිසුන් 10,000 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම, යම් අයෙකු තමාගේ රට තුළ පවතින යුද්ධයේ සාධාරණත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඊට දක්වනු ලබන ප්‍රතිචාර පිළිබඳ ප්‍රශ්න මතු කරන බවයි පෙන්වා දුන්නේ.

එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ඇති බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා එක හා සමාන ප්‍රශ්න පවතින ශ්‍රී ලංකාව සහ ගාසා තීරය සම්බන්ධයෙන් මෙම ජාතීන් අනුගමනය කරන ප්‍රවේශයේ වෙනසක් ඇත්තේ මන්දැයි ද ප්‍රශ්න කළ අතර ඒ අනුව කලාප දෙකටම එකම නීති ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles