පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට ජනපතිවරයා පත්කළ කමිටුව පෙර පත් කළ කමිටු මෙන්ම නිෂ්ඵල ක්‍රියාවක් බව අගරදරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
ඒ චැනල් 4 නාළිකාව හෙළි කළ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව සමිබන්ධව.ප්‍රහාරය සඳහා වගකිව යුතු පාර්ශව ඉහළ තනතුරුවල සිටියදී ස්වාධීන විමර්ශන කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන එම හිමියන් මේ බව පැවසුවේ කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවට එක්වෙමින්.
එහි දී අගරදරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ සඳහන් කළා.
“එදා පාස්කු බෝම්බ ප්‍රහාරයට හසු වූ 273 දෙනා වෙනුවෙන් මා මේ දේ කිවයුතුමයි. දැන් මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවාලු මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත්කරලා චැනල් 4 නාළිකාව පෙන්නපු වැඩසටහනේ ඇති කරුණු විග්රහ කරන්න. මම අහන්න කැමතියි අපේ රටේ නායකයාගෙන්, එදා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරලා මේ නායකයාම තමයි ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත්කළේ. ඒ තේරීම්කාරක සභාවේ වාර්තාවේ 134 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මෙන්ම මේ පොලීසියේ උසස් නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධව ඉතාමත් බරපතළ වගකීමක් දරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුව නීතිය හමුවට පැමිණවිය යුතුයි කියලා අද වෙනතුරු මොකක්ද වෙලා තියෙන්නේ. ඒ උසස් නිලධාරියා තාමත් පොලීසියේ එම තනතුරටත් වඩා උසස් තනතුරක් දරමින් ජීවත්වෙනවා. තවත් කමිටු පත් කිරීමේ තේරුම කුමක්ද? මේවා ඇස්බැන්දුම් – නායකයින්ගේ හැසිරීම ලැජ්ජා සහගතයි.”