76 වැනි නිදහස් සමරු උළෙලට අදාළ පෙර පුහුණුවීම් අතරතුර ඊයේ (30) දින පැරෂුට් භටයන් සිව් දෙනෙක් අනතුරට ලක් වුණා. එම අනතුරු පටිගත වී තිබුණු අතර එය හද සසල කරවන දසුනක් වුණා. කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳ කරුණු දක්වනු ලැබුවා.
මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දී ඇති ගුවන් භටයන් වන්නේ සැරයන් වීරගල්ල සහ සැරයන් හේමසිංහ යන දෙදෙනා බව එහිදී ප්‍රකාශ කෙරුණා. වීරියගල්ල පැනීම් 531 සහ හේමසිංහ පැනීම් 370ක් කළ අය බවයි වාර්තා වන්නේ.
අනෙක් දෙදෙනා වන යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් වන මේජර් ධම්මික රත්නපාල සහ මාණ්ඩලික සැරයන් බණ්ඩාර යන අයගෙන් පළමුවැන්නා පැනීම් 126ක්ද දෙවැන්නා 298ක්ද සිදු කළ අයවලුන් බව සඳහන් වෙනවා.
ගුවන් භටයන් දෙදෙනාගේ පැරෂුට් එකිනෙක පැටලී ඔවුන් ඇද වැටෙන්නේ ගෝල්ෆේස්හි පිහිටි ෂැංග්‍රීලා හෝටලයේ වායුසමීකරණ පද්ධතිය මතටයි. යුද භටයන් දෙදෙනාගේ අනතුරින් එක් අයෙක් පැටලී වැටෙද්දී අඩි 300කට පමණ ඉහළදී ඔහු පැටලුම නිරවුල් කරගත්තත් ගාලුමුවදොර පිටියට ඇද වැටුණා.
මෙම අනතුරුවලට හේතුව අනපේක්ෂිත සුළං ප්‍රවාහයක් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නි. අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මෙසේ පැවසුවා.
“පැරෂුට් අනතුරට ලක්වු හමුදා සාමාජිකයින් දෙදෙනෙක් හදිසි අනතුරු අංශයට ඇතුළත් කළා ඔවුන්ට බරපතළ තුවාල කිසිවක් නැහැ. පාදවලට සුළු තුවාල සිදුව තිබෙනවා හෙට උදෑසන වනවිට නිවෙස් බලා යා හැකියි. මොවුන් දෙදෙනා පහළ එද්දී පැරෂුට් පැටලිලා ගොඩනැගිල්ල මතට ඇදවැටිලා. ඒ වැටීම අඩි 10ක ප්‍රමාණයක් – ලොකු උසක් නැහැ. මොවුන් රෝහල්ගත කිරීමේදී පූර්ව රෝහල් ප්‍රතිකාර නිවැරදිව සිදුකර තිබෙනවා. හිස සෙලවිය නොහැකි ලෙස විශේෂ ආධාරක තබා පූර්ව ප්‍රතිකාර නිසි ලෙස ලබාදීම ඉතා වැදගත්”