පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට කියවීමට ලබා දිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
එසේම එම රහසිගත සාක්ෂි සටහන් පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධික්ෂණය යටතේ පරිශීලනය කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බවත් ඔහු පැවසුවේ අද(21) පාර්ලිමේන්තුවේදී.
මේ බව ජනාධිපති ලේකම්වරයා විසින් කතානායකවරයාට ලිපියකින් දැනුම්දී ඇති බවත් අදාල සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා එසේ කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇති බවත් කතානායකවරයා එහි දී පවසනවා.
කතානායකවරයා මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්.
කෙසේ වූව ද එම සාක්ෂි සටහන්වල වෙළුම 2-II සහ 2-III හි අඩංගු රහසිගත සාක්ෂිද ඇතුළත්ව 2-I සිට 5 දක්වා වූ සම්පූර්ණ වෙළුම් ඇතුළත් කරමින් සංස්කරණය කළ නොහැකි ආකාරයෙන් සකස් කරන ලද සංයුක්ත තැටි 06 ක් බාරදෙන ලද අතර එහි ඇතුළත් 2-II හා 2-III වෙළුම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයට පමණක් අවස්ථාව සලසාදී තිබෙනවා.