යුක්රේන්-රුසියා යුද්ධයේ දී යුක්රේන් සටන් පෙරමුණේ භට කණ්ඩායම් වෙනුවෙන් නායකත්වය දුන් යුක්රේන් සන්නද් හමුදා පළමුවන විශේෂ බලකායේ අණ දෙන නිලධාරී කපිතාන් රනිෂ් හේවගේ සහ මෙරට හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනෙක් රුසියානු හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රුසියානු හමුදාවන් විසින් කළු සතුරා නමින් විශේෂ ඉලක්කයක් ලෙස ඔහුව නම් කර ඇතැයි කියැවෙනවා.
මෙරට පාබල හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත් ව යුක්රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස කපිතාන්වරයා සේවයට බැඳී ඇත්තේ 2022 වසරේ දීයි.
සටන් පෙරමුණේ නව වතාවක් තුවාළ ලැබූ කපිතාන් රනිෂ් වීරත්වය හේතුවෙන් ජනාධිපති විශේෂ සම්මාන පහකින් පිදුම් ලබා තිබුණා.
ඔහුගේ භට කණ්ඩායමට අයත් තවත් ශ්‍රී ලාංකික සෙබළෙක් වූ ප්‍රියන්ත සටන් පෙමුණේදී මියගොස් තිබූ අතර දිගින් දිගට එල්ල වූ රුසියානු ප්‍රහාර නිසා ඔහුගේ සිරුර ලබා ගැනීමට යුක්රේන හමුදා ඉදිරිපත් වී නැති බවයි පැවසෙන්නේ. ඒ වෙනුවෙන් කපිතාන් රනිෂ් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අතර තවත් ශ්‍රී ලංකා භටයන් තිදෙනෙක්ද ඔහු සමඟ එක්ව තිබෙනවා.
මෙම මෙහෙයුමට සහභාගි වූ හතුරුසිංහ නම් සෙබළා මෙසේ පවසා තිබෙනවා.
“අපි ෆෝ මෑන් ටීම් එකක් විදියට රනිෂ් සර් සමග බොඩි එක ගන්න ගියා. මඟදිම එක්කෙනෙක් තුවාල වුණ නිසා අපි තුන්දෙනයි ඉස්සරහට ගියේ. අපි ඉස්සරහින් ලයින් එකට යද්දිම කාලතුවක්කුවලින් ගහන්න ගත්තා. ඩ්‍රෝන් ඇටෑක් එකකුත් ආවා. 4 වෙනිදා උදේ 9ට විතර කාලතුවක්කු එකක් වැටිලා සර් එක්ක මාත් තුවාල වුණා. අපිත් එක්ක ගිය සිංහ රෙජිමෙන්ට් එකේ එක්කෙනා එකේදි මැරුණා. සර්ට තුවාල වෙලා තිබුණේ. මම සර්ව කිලෝමීටර් පහළොවක් විතර අරන් ආවා. මගේ අතට කාලතුවක්කු කෑලි වැදිලා තුවාල වෙලා තිබුණේ. රනිෂ් සර් වගේ වීරයෙක් සතුරු බිමේ මැරෙන්න දෙන්න බැරි නිසා මම කොහොම හරි එයාව අරගෙන ආවා. අතරමඟ දි ආයෙත් රුසියානු ඩ්‍රෝනවලින් ගහන්න ගත්තා. ඒ අතරේ රනිෂ් සර් නැතිවුණා. සර් අපිට හැමදාම කිව්වේ යුද්දේදි මැරුණොත් බොඩි එක ගන්න එපා කියලයි. ඒත් මම උපරිම උත්සාහ කළේ, සර්ව අරගෙන එන්නයි. දිගටම ඩ්‍රෝනවලින් ගහද්දි මට තනිවම පසුබහින්න වුණා…”
යුක්රේන් සටන් බිමේ මෙරට සෙබළුන් වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 10-12 අතර වැටුපක් ගෙවන බව ද දැනගන්නට තිබෙනවා.