19 වන සියවස මුල් අවධියේ යටත්විජිත පාලකයින් විසින් වැවිලි ආර්ථිකයට හා උඩරට දුම්රිය මාර්ග පද්ධතියේ වැඩට දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගනු ලැබු කුලී ශ්‍රමිකයින් මෙරටට හදුන්වා දුන්නා. ඒ පැමිණි දකුණු ඉන්දියානුවන් කදුකරයේ වැවිලි භූමි ආශ්‍රිත ලැයිම් කාමරවල පදිංචි කළා. ඒ අනුව එසේ පදිංචි කරන ලද ඉන්දීය සම්භවයක් ඇති දමිළ කම්කරු ප්‍රජාවගෙන් මෙරට වතු ජනාවාසකරණය ආරම්භ වුණා. එම ජනාවාසකරණයට මේ වන විට වසර 200 ක් පිරෙනවා.
නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් දක්වන කඳුරට වතුකරයේ ජීවත්වන ඔවුන්ට මෙරටේ බිම් අඟලක හෝ අයිතිවාසිකමක් නැහැ.ඒ වගේම වතු කම්කරු ජනතාවගෙන් බහුතරය අදටත් ජීවත්වන්නේ එදා බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද ලැයිම් කාමර තුළ. වසර 1800 යේ මුල් කාලයේ බ්‍රිතාන්‍ය පුද්ගලික වතු හිමියන් විසින් ඉදිකළ මෙම බොහොමයක් කම්කරු නිවාස සහිත වාස භූමි වැඩි ප්‍රමාණයක් ප්‍රධාන මාර්ග මෙන්ම සේවා මධ්‍යස්ථානවලින් ඈත්ව හුදකලා පරිසර වලයි පිහිටා තිබෙන්නේ. මේ හේතුව නිසාම සාමාන්‍ය සමාජයෙන් කොන්ව පරාදීන හා යැපුම් මානසිකත්වයක් තුල හිරවුන මොවුන් විවිධ අපහසුතා මැද ගත කරන්නේ ඛේදනීය ජීවිතයක්.
වතු ආර්ථිකය යහපත් කාල වකවානු තුල වූව ද වතු කම්කරුවන් සදහා වාසස්ථාන සැපයීමට පාලකයන් එදා සිට දක්වන ලද්දේ අඩු සැලකිල්ලක්. විදේශිය වතු හිමිකරුවන් විසින් 10’x12 ½’ ප්‍රමාණයේ ලැයිම් කාමර ඉදි කරන ලද්දේ පිරිමි කම්කරු ශ්‍රමිකයන් වෙනුවෙන්. නමුත් ඔවුන්ට බිරිඳ එක්වූ පසු ඒවා නිවාස බවට පත්වුණා. එසේම 1960 දශකයේ ලෝක තේ මිල අඩු වීමත් සමග වතු කම්කරුවන්ගේ නිවාස පහසුකම් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල තව දුරටත් අඩු වුණා. එසේම මේ සදහා කරන ආයෝජනය ආර්ථික ඵලදායිතාවය නොමැති කාර්යක් ලෙසයි වතු කළමනාකාරිත්වයන් හිතුවේ.
පසුව මෙම නිවාසවල අයිතිය වතු කම්කරුවාට ලබාදීමට ද කැමැත්තක් නොවූයෙන් ඒවා පිළිසකරකර ගැනීමට හෝ වැඩි දියුණුකර ගැනීමට ඔවුන් ඉදිරිපත් වුණේ නැහැ.ඒ වගේම ජනගහණ වර්ධනයත් සමග අමතර පවුල් විසින් ලැයිමට යාබදව අනවසර පැල්පත් ඉදිකර ගත්තා. මේ හේතුවෙන් ඒවා තව දුරටත් ජරාවාස වීමට පත්වී ඇති අතර වතු කම්කරුවාගේ ජීවන තත්වයද එයට සමගාමීව පිරිහීමට ලක්වුණා. එසේම ඔවුන්ට නිවාස සපයාදීම වත්තේ වගකීමක් ය යන යැපුම් මානසිකත්වයක් ඔවුන් තුල මුල් බැස තිබීම ඔවුන් තව දුරටත් බාහිර සමාජයෙන් කොන්වීමට හේතු වෙන්න ගත්තා.
වතුකරයේ ජනතාව සම්බන්ධයෙන් තොරතුරු පවත්වා ගෙන යනු ලබන්නේ ද ඒ ඒ වතු මට්ටමින්. මේ හේතුවෙන් වතුකරය සම්බන්ධයෙන් මනා දත්ත පදනමක් සකසා ගැනීම ද ගැටලුවක්ව තිබෙනවා. වතු මට්ටමින් කරණ ලද සමීක්ෂණවලට අනුව පවුල් 2,44,500 කට අයත් 9,66,700 ක ජනතාවක් ලැයිම් කාමර 1,60,000 ක් තුල ජීවත්වන බවට හදුනාගෙන තිබෙන එම ලැයිම් කාමරවලින් බහුතරය ද ජීවත් වීමට නුසුදුසු ලෙස අබලන් තත්වයේයි පවතින්නේ.
එසේම ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක රාජ්‍ය වැවිලි අංශයට අයත් වතු 483 ක් ස්ථාන ගතව තිබනවා. මෙයින් වතු 268 ක් එනම් 55% පිහිටා තියෙන්නේ උඩරට. ඒවා සියල්ලක්ම වාගේ තේ වතු වන අතර එම වතු එකිනෙකට යාබදවයි තියෙන්නේ. එම නිසා මෙම වතු ආසන්නයේ සම්ප්‍රධායික ගම්මාන සොයා ගැනීම අපහසුයි. වතු කම්කරුවන් සියලුම දෙනා එම වත්තේමයි පදිංචි වෙන්නේ. එසේම 30%ක් වන මැද රට වතුවලින් බොහොමයක් තේ හා රබර් ආශ්‍රිත වතු. මෙම වතු ප්‍රධාන මාර්ග ආසන්නයේ පිහිටා තිබෙන අතර එම වතුවලට මායිම් වූ ගම්මාන විශාල වශයෙන් තියෙනවා.එම හේතූ නිසා වතු කම්කරුවන්ගෙන් 80% ක් පමණ වත්තේම පදිංචි කරුවන් වන අතර ඉතිරි කොටස අවට ගම් වලින් පැමිණෙනවා.එයින් ද 15% ක් පහත රට වතු වන අතර එහි තේ , රබර් සහ පොල් වතු ද අඩංගුයි. එසේම සම්ප්‍රධායික කුඩා ගම්මාන, කුඹුරු යායවල් මෙම පහතරට වතු ආශ්‍රිතව පිහිටා තිබෙනවා. වතු සේවකයන් ගෙන් වත්තේ පදිංචිව සිටින්නේ 60% ක් පමණක් වන අතර ඔවුන් ද අවට ගම්මාන වල තාවකාලික රැකියාවල යෙදෙන්නෝ.
වතුකරයේ නිවාසකරණය රැකියාව හා බැදුන වත්තෙන්ම සැපයිය යුතු දෙයක්. කම්කරු පවුලකට එක් නිවසක් යන පදනම මත කුලියකින් තොරව ලබාදෙන ලයින් කාමර සදහා ඔවුනට අයිතිවාසිකමක් නැහැ. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත ක්‍රියාත්මකවීමත් සමග එතෙක් පුද්ගලික සමාගම් සතුව තිබූ වැවිලිකරය රජය සතු කළා.පසුව රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යන රාජ්‍ය ආයතනවලට ඒවායේ කළමනාකාරිත්වය පැවරුණා. 1992 වතු ජනතාකරණය වනතෙක් වතුකරයේ නිවාසකරණය වතු කළමනාකාරිත්වයේ වගකීමක්. පසුව ඒවා නඩත්තුකර ගැනීම පදිංචිකරුවන් පිටම පැවරුණා.
1980 දශකයේ පූර්ව භාගයේදී වතුකරයේ නිවාස හා ජනාවාස සංවර්ධනය උදෙසා රාජ්‍ය මැදිහත්වීම ඇරඹුණා.පසුව වතු කම්කරුවාට ශ්‍රී ලාංකික පුරවැසි භාවය ලබාදීමට පියවර ගත්තා. ඒ අවස්ථාවේ වතු මායිම් ජනාවාස ආශ්‍රිතව පර්යන්ත ගම්මාන සංකල්පයක් හදුන්වා දුන්නා. නමුත් එම සංකල්පය නොයෙකුත් හේතු සාධක හා විවිධ බලපෑම් මත ක්‍රියාත්මක කර ගන්න බැරිවෙනවා. පසුව නැවතත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස දශලක්ෂය ආරම්භයේ දී වතු නිවාස උප වැඩ සටහනක් හදුන්වා දුන්නා. එය වතු නිවාස සමුපකාර සමිති ක්‍රියාවලිය ඔස්සේ වතු ප්‍රජාව ගේ මූලිකත්වයෙන් ප්‍රජා මුලික නිවාස වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක වුණා.
කෙසේ වූව ද වතුකරයේ නිවාස ප්‍රශ්නයට පැහැදිලි විසදුමකින් තොරව ක්‍රමවත් සුභසාධක වැඩසටහනක්ද සකසා ගත නොහැකි බව තේරුම් ගත් රජය වතු ප්‍රජාවගේ ජීවන තත්වය නගා සිටුවීමේ අරමුණින් 1994 වසරේ වතු නිවාස වෙනුවෙන් අලුත් නියෝජ්‍ය අමාත්‍යංශයක් පිහිටුවනු ලැබුවා. ඒ හරහා වතුකරයේ නිවාස ප්‍රශ්නයට වතු ප්‍රජාව කේන්ද්‍රීය කර ගනිමින් නව ප්‍රවේශයක් හදුන්වා දුන්නා. ඒ අනුව වතු කලමනාකාරිත්වය, වතු කම්කරු නිවාස සමූපාකාර සමිති, අදාල වැවිලි සමාගම්, වැවිලි මානව සංවර්ධන භාරය, ඇතුලු අනෙකුත් රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන වැඩසටහනේ සහය ආයතන බවට පත් කළා. ඔවුන්ටම කියා කිසිදු ස්ථානයක් නොමැතිව දිවිගෙවූ වතු කම්කරු ජනතාවට ඔවුනගේ කැමැත්ත අනුව නිවසක් තනා ගැනීමට බිම් කොටසක අයිතිය ලබාදෙමින් නිවාස ඉදිකර ගැනීම සදහා අවශ්‍ය ණය අධාර ලබාදීම මෙම වැඩසටහන් හරහා ක්‍රියාත්මක වුණා.
කෙසේ හෝ පසුගිය දශක කීපය තුල ඔවුනට වඩා හොද නිවාස ලබාදීම සදහා විශේෂයෙන් ඉන්දීය රජයේ ණය ආධාර යටතේ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් පවුල් 25,000 කට පමණ වාසයට උචිත නිවාස ලැබී තිබෙනවා. ඒ අනුව පවුල් 135,000 කට පමණ තව දුරටත් යෝග්‍ය නිවාස ලබා දිය යුතුයි. එසේම වතු නිවාස හා ජනාවාස ක්‍රමයේ ඇති ප්‍රශ්ණ ග්‍රාමීය හා නාගරික නිවාසකරණ ප්‍රශ්ණවලට වඩා වෙනස්. මෙයින් පලමුවැන්න නිවාස සදහා ඉඩම් නිදහස් කිරීමට වතු කළමනාකාරිත්වයට නොහැකිවීම හා දෙවැන්න ශ්‍රී ලාංකික පුරවැසියන් ද වන ඔවුන්ට ඒ සදහා නිත්‍යානුකූල අයිතියක් ලබාදීමේ දී ඇති ගැටලුයි. වත්මන් තරුණ පරපුර වතු ආර්ථිකයෙන් බැහැරව රැකියා අපේක්ෂාවෙන් කොළඹ ඇතුලු ප්‍රධාන නගර කරා සංක්‍රමණය වීම ද ධනාත්මකව මෙන්ම ඍනාත්මකව සැලකිල්ලට ගත යුතු කරුණක්.
එසේම ග්‍රාමීය හා නාගරික ප්‍රජාවන්ට සාපේක්ෂව වතු ප්‍රජාව ගේ දරිද්‍රතාව ඉහළ අගයක පවතින අතර අධ්‍යාපනය සෞඛ්‍යය මෙන්ම ආර්ථික හා සාමාජීය ගැටලු, වත්මන් ආර්ථික අර්බූදයන් හමුවේ තව දුරටත් බැරෑරුම් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා නාගරික අංශයන් වල ජනාවස ගැටලු හා සංසන්දනාත්මකව බලන විට වතු අංශයේ වත්මන් නිවාස හා ජනාවාස ගැටලුව වතුකරයට ම සුවිශේෂි වූ ස්වරූපයක් ගන්නවා.
ඒ අනුව වතු ක්‍ෂේත්‍රයේ ජනතාව මුහුණ දෙන නිවාස සහ ජනාවාස ගැටලුවට වැඩි ප්‍රමුඛත්වයක් දෙමින් සමස්ථ සමාජ ප්‍රවාහයෙන් බැහැරව සිටින වතු කම්කරු ප්‍රජාව රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ කොටසක් ලෙස සැලකීම සිදු කළ යුතු වෙනවා.ඒ වගේම වත්ත තුල හා එයට මායිම් ව නව ගම්මාන සහිත මානව ජනාවාස සංවර්ධනයක් සහතික කිරීම ද යුගයේ අවශ්‍යතාවය වී තිබෙනවා.
එච්. එම්. දයානන්ද.
හිටපු සාමාන්‍යාධිකාරි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය.