අද හිටියාට කොයි වෙලේ මැරෙයිද දන්නෑ: කැනඩාවේදී දිවි නැසුණු ඇය අම්මාට කියූ කතාව

රෑ මැදියම ට ආසන්න බව නිවසේ හෝරා යන්ත්‍රය කියද්දී දරු පැටව් කිරි සිහින දකිමින් නිදා සිටින්නට ඇත. වික්‍රමසිංහ යුවළද නින්දට සැරසෙන්නට ඇත්තේ මේ සිඟිත්තන් ගේ හෙට දවස ලස්සන කරන්න වෙහෙස වූ තවත් විඩාබර දවසක අවසානයේ ඉසිඹුවක් ලබන්නට ය.

ඒත් ඒ රැයේ වෙනදාට වඩා ගුප්ත අඳුරක් ඇතැයි ඔවුනට නොපෙනෙන්නට ඇත.

කැනඩාවේ ඔටාවා පොලිසියේ හදිසි ඇමතුම් අංශයට බදාදා රාත්‍රියේ 10.52 ට දුරකතන ඇමතුම් දෙකක් එකපිට ලැබෙන්නේ ඒ ගුප්ත නිහඬතාව බිඳ දමමිනි. ඉන් මිනිත්තු කීපයකට පසු පොලිසිය වික්‍රමසිංහ නිවස අසල ය. ඒ මොහොත වන විට ධනුෂ්ක වික්‍රමසිංහ නිවස ඉදිරිපිට මාර්ගයේ වැටී සිටින්නට ඇත්තේ කාගේ හෝ පිළිසරණක් අපේක්ෂාවෙන් වන්නට ඇත. පොලිස් නිලධාරින් දෙදෙනකු ඔහුට ප්‍රතිකාර ලබා දීමට කටයුතු සලසන අතරතුර තවත් කණ්ඩායමක් නිවසට ඇතුළු විය. එහිදී දුටු දෙයින් ඔවුන්ට දෑස් අදහා ගත නොහැකි වන්නේ දෑස් අභියස තිබුණේ බිහිසුණුම දසුනක් නිසා ය .

ඒ අවාසනාවන්ත හෝරාවේ දී වික්‍රමසිංහ මහත්මියත් ඔවුන්ගේ දරුවන් හතර දෙනා සහ තවත් නිවසේ ලැගුම් ගෙන උන් හිතවතෙකු ඒ වන විටත් කිසිවෙකු විසින් මෙලොවින් තුරන් කර දමා තිබුණි.

පොලිසිය විසින් නිවසේ සිටි තරුණයෙක් සැකපිට අත්අඩංගුවට ගන්නේ ද ඒ සමගය. එසැණින් මේ අසුන්දර පුවත ලොව පුරා පැතිර ගියේ ලැව්ගින්නක් පැතිරෙනවාට වඩා වේගයෙන් යැයි කිව හැකි ය.

වික්‍රමසිංහ පවුල ගැනත් සැකකාර තරුණයා ගැනත් මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් වාර්තා වන්නට පටන් ගත් අතර විපතට පත් මේ පවුලත් සැකකරුත් ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයක් විය.

වික්‍රමසිංහ පවුල ජීවත් වූ නිවසේ මේ සැකකාර තරුණයා ද නැවතී සිටියේ කලක පටන් ඔවුන් හිතවතුන්ව සිටි නිසා බවත් පැවසේ. මෙම නිවසේ අයිතිකරුගේ ප්‍රකාශයකින් කියැවෙන්නේ කුලී පදනම මත ලබා ගත් තම නිවසේ වෙනත් පුද්ගලයන් සිටි බවට තමා නොදැන සිටි බවයි. මේ හැම කාරණයක් ම ඉදිරියේ කැනඩාවේ සිටින සහ කැනඩාවට යෑමට සිටින ශ්‍රී ලාංකිකයන් ට අහිතකර බලපෑම් සිදු විය හැකි බවටත් ඉඟි පළ වෙයි.

කැනඩාවේ සිටින ඝාතන සැකකරු සිසුවාගේ නැන්දා ද මාධ්‍ය ට මේ ගැන අදහස් දක්වා තිබුණා. එහිදී ඇය කියා සිටියේ මේ පවුල මේ තරුණයාට හොඳින් සැලකූ බවත් ඒ පවුල හරිම හොඳ පවුලක් බවත් ය. ඇය ඒ කියන කරුණ ඔප්පු වන තවත් කරුණක් වන්නේ මීට දින කීපයකට කලින් යෙදී තිබූ ඔහුගේ උපන් දිනය සමරා තිබුණේ ද මේ පවුලේ උදවිය සමග වීම යි. මේ තරුණයා වෙනුවෙන් උපන් දින කේක් එකද සාදා දී ඇත්තේ වික්‍රමසිංහ මහත්මිය වීම සිදුවීම තවත් පුදුමසහගත කරයි.

මීට වසර දෙකකට පෙර ඉගෙනුම සඳහා කැනඩාවට පැමිණි ඔහු ද ඉතා නිහඬ සහ යහපත් කෙනෙකු ලෙස සිටි බවත් ඔහුගේ නැන්දා සඳහන් කර තිබුණි.
නමුත් පහුගිය කාලයේදී තමන් සමග තිබූ සියලුම සබඳතා ඔහු අවහිර කර තිබූ බවත් ඇය වැඩිදුරටත් කියා ඇත්තේ ය.

මේ ඛේදනීය සිදුවීම ගැන නොයෙක් මත පළ වෙතත් කැනඩා පොලිසිය පවසන්නේ තවමත් විමර්ශන වෙමින් පවතින නිසා මේ සිදුවීම් මාලාව විස්තර කිරීමට නොහැකි බවත් මේ සිදුවීමේ එකම සැකකරු මේ තරුණයා බවත් ය. ඔටාවා ඉතිහාසයේ සිදු වූ විශාලතම මිනීමැරුම්වලින් එකක් මෙය බවද ඔවුන් කියා සිටිති.

සැකකාර සිසුවා ඉගෙනුම ලැබූ උසස් අධ්‍යාපන ආයතන නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ 2023 ශීත ඍතුවෙන් පසුව ඔහු තම ආයතනයට නොආ බවයි.

ඔහු අතිරේක රැකියාවන් කළ බවද ඒ බදාදා රාත්‍රියේ පිරිසිදු කිරීමේ රැකියාවකට ගොස් පැමිණ ඇතැයි ද වාර්තා වුණි.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින වික්‍රමසිංහ මහතාගේ තත්වය ගැන ද පුවත් පළ වෙයි. ප්‍රහාරයෙන් ඔහුගේ අතෙහි ඇඟිලි දෙකක කොටසක් කැපී ඇති බවටත් ඉන් එකක් සැත්කමකට සූදානම් කර ඇති බවත් ආරංචි පළ වෙයි. නාසයත් ඇසත් අතර මුහුණ හරහා කැපුම් තුවාලත් සමග තවත් බොහෝ තුවාල ලබා ඔහු මේ වන විට ජීවිතය පමණක් රැක ගෙන සිටින්නේ ය.

සැකකාර සිසුවා පසුගිය බ්‍රහස්පතින්දාවේ කෙටි වේලාවක් අධිකරණයේ පෙනී සිටි අතර තුවාල ලබා සිටින වික්‍රමසිංහ මහතා සමග හෝ අනිකුත් සාක්ෂිකරුවන් සමඟ කතා කිරීමෙන් වළකින ලෙසට අධිකරණය ඔහුට නියෝග කර ඇත. ඔහුට නීතිඥවරයෙකුගේ සහය ගැනීමට අවසර ලබා දී ඇත්තේ නඩුව ලබන සතිය දක්වා කල් තබමිනි. මේ වන විට ඔහුගේ සියලු සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

වික්‍රමසිංහ මහත්මිය සිය සැමියාගේ සෙවණ පතා කැනඩා අහස යටට එන්නේ මීට ටික කලකට ඉහතදීය. ඒ ඔවුන්ගේ දරු තුන් දෙනා ද සමගය. පවුලේ බාල සිඟිත්තිය ඉපදුණේ ඉන් පසු කැනඩාවේ දී ය.ඔවුනට අප්‍රමාණ සිහින බලාපොරොත්තු තිබෙන්නට ඇත. සියල්ල ඒ රැයේදී බිඳී ගියේ සබන් පෙෙණ බුබුළු ලෙසිනි.
ඔවුන් විසූ නිවස ඉදිරිපිට මේ රැයේදී ඉටිපන්දම් දැල්වෙන්නේ වේදනාවේ ගින්දරෙනි.

“අපි අද හිටියා අම්මා හෙට කොයිවෙලේද.. මැරෙන මොහොත අපිට හොයන්න බෑ ..”

වික්‍රමසිංහ මහත්මියගේ මව මාධ්‍ය ට මේ සිදුවීම ගැන කළ අදහස් දැක්වීම අතරතුර පැවසුවේ තම දියණිය ඇය හා නිතර එසේ කී බවය.

  • වයලට් ප්‍රියදර්ශනී විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles