මිනිස් සිරුරෙන් ගෘහභාණ්ඩ හැදූ අමුතු ඝාතකයා

  • සංවේදී පාඨකයන් කම්පනයට පත් විය හැකි අන්තර්ගතයක් ඇතුළත් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

විස්කොන්සින්හි ප්ලේන්ෆීල්ඩ් හි පිහිටි ගරාවැටුණු නිවසක් තුළ වසර ගණනාවක් තිස්සේ පුටුවක්, කබායක් ඇතුළු විවිධ දේ නිර්මාණය කිරීම සඳහා මිනිසෙකු තම ගොදුරුවල සම පරිස්සමින් ඉවත් කර කොටස් කරමින් සිටියේය.

Psycho (1960), The Texas Chainsaw Massacre (1974), සහ The Silence of the Lambs (1991) ත්‍රාසජනක චිත්‍රපට කිහිපය නැරඹූ බොහෝ දෙනෙක් නොදන්නා දෙය නම්, මෙම චිත්‍රපට තුනේ මැවූ බිහිසුණු දුෂ්ටයන් සියල්ලන්ගේ ම පදනම වී ඇත්තේ එක් සැබෑ ඝාතකයෙකු  බව ය. ඔහු එඩ් ජීන් ය.

1957 නොවැම්බරයේදී විස්කොන්සින් හි, ප්ලේන්ෆීල්ඩ් ප්‍රදේශයේ කාන්තාවකගේ අතුරුදහන් වීමක සුලමුල සොයාගිය පොලිසිය එඩ් ජීන්ගේ නිවසටද ඇතුළු විය. ඔවුන් සොයමින් සිටි කාන්තාව – මිය ගොස් , ඇගේ කවන්ධය එඩ් ජීන්ගේ නිවසේ එල්ලා තිබියදී ඔවුන්ට හමුවිය. එඩ් ජීන් විසින් නිර්මාණය කළ භීතිය ඇති කරවන, ජුගුප්සාජනක වස්තූන් ගණනාවක් ද ඒ සමඟ විය.

හිස් කබල්, වියැළූ මිනිස් අවයව සහ මිනිස් මුහුණුවලින් සාදන ලද ලාම්පු ආවරණ වැනි බිහිසුණු ගෘහ භාණ්ඩ සහ මිනිස් සමෙන් සකස් කළ පුටු කීපයක් ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී. එඩ් ජීන් පසුව පොලිසියට පැහැදිලි කළ පරිදි, ඔහුගේ අරමුණ වූයේ වසර ගණනාවක් තිස්සේ උමතු වී සිට මියගිය මව කෙසේ හෝ නැවත නැඟිටුවීම සඳහා සම් ඇඳුමක් නිර්මාණය කිරීමයි.

1906 අගෝස්තු 27 වන දින විස්කොන්සින්හි ලා ක්‍රොස් හිදී උපත ලද එඩ්වඩ් තියඩෝර් ජීන්, ඔහුගේ අන්තගාමී ආගමික මත සහිත මව වන ඔගස්ටාගේ අධිකාරීමය බලපෑම් යටතේ උස්මහත් විය. ඇය එඩ්වඩ් සහ ඔහුගේ සහෝදර හෙන්රි ඇති දැඩි කළේ ඇගේ දැඩි ආගමික නීතිරීති අනුවය. ලෝකය නපුරෙන් පිරී ඇති බවත්, කාන්තාවන් “පව්කාර භාජන” වැනි බවත්, මත්පැන් සහ අමරණීයභාවය යක්ෂයා සතු බවත් විශ්වාස කිරීමට ඇය ඔවුන් පෙළඹවූවා ය.

සෑම අස්සක් මුල්ලක් නෑරම නපුර සැඟවී සිටින බව ඔගස්ටා විශ්වාස කළා ය. නගරයේ ජීවත් වීමෙන් තම කුඩා පුතුන් දෙදෙනා දූෂිත වනු ඇතැයි විශ්වාස කළ ඔගස්ටා තම පවුල ආරක්ෂා කර ගැනීමට ලා ක්‍රොස් සිට ප්ලේන්ෆීල්ඩ් වෙත යා යුතු බව තීරණය කළාය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මව පියා සහ සොයුරා සමඟ ගොවිපලක පදිංචියට ගිය එඩ් ජීන් ප්ලේන්ෆීල්ඩ්හි එම හුදෙකලා ගොවිපළෙන් පිට වුණේ පාසල් යාමට පමණි. සමාජීය වශයෙන් ඇසුරු කිරීමට අපහසු සහ අමුතු අයෙකු වූ එඩ් ජීන් ඔහුගේ පන්තියේ මිතුරන් සමඟ ද කිසිදු මිත්‍ර සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට අපොහොසත් විය. එපමණක්ද නොව, එඩ්ගේ වපර ඇස් සහ කථන ආබාධය ඔහු හිරිහැර කරන්නන්ගේ පහසු ගොදුරක් බවටද පත් කළේය. බාහිර පරිසරයේදී පීඩනයට පත්වූ නමුත් එඩ් තම මවට දැඩි ලෙස ආදරය කළේය. ඔහු ලෝකය පිළිබඳ ඇගේ පාඩම් උකහා ගත් අතර ඇගේ දරුණු ආගම් දැක්මද වැලඳගත් බවක් පෙනෙන්නට තිබුණි. නමුත් වැඩිමල් සොයුරා හෙන්රි මේ කිසිවකට මැදිහත් නොවූ අතර එඩ් හා හෙන්රි අතර අමනාපයක් ගොඩ නැගීමට මෙය හේතුවිය. එඩ් ජීන්ගේ පළමු ගොදුර ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන හෙන්රි ලෙසට සැක කිරීම  පුදුමයක් නොවේ.

1944 වර්ෂයේ දිනයක එඩ් සහ හෙන්රි සාමාන්‍ය ලෙස ඔවුන්ගේ කෙත්වල සෘතු අවසානයේ සිදුකරන වල් පැල පුළුස්සා දැමීමට පටන් ගත්හ. නමුත් පසුදා වන විට ජීවත් වූයේ සහෝදරයන්ගෙන් එකෙක් පමණි. ඔවුන් වැඩ කරන විට, ගින්න හදිසියේම පාලනය කරගත නොහැකි විය.  ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් පැමිණි පසු එඩ් ඔවුන්ට පැවසුවේ හෙන්රි අතුරුදහන් වූ බවයි. කෙසේ වුවත් දින කීපයකට පසුව ආසන්නයේ තිබූ වගුරු බිමකින්, හුස්ම හිරවී මිය ගොස් ඇති හෙන්රිගේ සිරුර සොයා ගන්නා ලදී. එකල එය ඛේදජනක අනතුරක් ලෙස පෙනෙන්නට තිබුණි. අහම්බෙන් සිදු වුණා හෝ නොවුණා හෙන්රිගේ මරණයෙන් පසු 1945 දී ඔගස්ටා මිය යන තෙක් ඔවුන් වසරක් පමණ ගොවිපළේ  හුදකලාව ජීවත් වූවෝය. ඉන්පසුව, එඩ් ජීන් ඔහුගේ දශකයක් පුරා වූ අත්භූත ජීවිතය ඇරඹීය.

ඔගස්ටාගේ මරණයෙන් පසු, එඩ් ජීන් නිවස ඇගේ මතකයන් ඇති කෞතුකාගාරයක් බවට පරිවර්තනය කරන්නට අදහස් කරමින්, ඇය භාවිතා කළ කාමර එලෙසම තබා කුස්සියෙන් පිටත කුඩා කාමරයක වාසයට ගියේය. නගරයෙන් හා අනෙකුත් මිනිසුන්ගෙන් ද දුරස්ථව තනිව ජීවත් වූ ඔහු වඩාත් උමතුවෙහි ගිලෙන්නට පටන් ගත්තේය.  එඩ් ඔහුගේ දින ගෙවා ගත්තේ නාසි වෛද්‍ය අත්හදා බැලීම්, මානව ව්‍යුහ විද්‍යාව හැදෑරීම වැනි දේවලිනි. ඔහු සැබෑ ජීවිතයේ කාන්තාවන් ඇසුරු කිරීමට උත්සාහ නොකළද විකෘති ලිංගික ක්‍රියාවලි පිළිබඳ කතා සහ ත්‍රාසජනක නවකතා කියවීමට කාලය යෙදවීය. අනතුරුව ඔහු තම මනඃකල්පිතයන් ක්‍රියාවට නැංවීමටද පටන් ගත්තේය. සම්පූර්ණ දශකයක් තිස්සේ, නගරයෙන් පිටත ජීන් ගොවිපල ගැන කිසිවෙකු එතරම් සිතුවේ නැත.  1957 නොවැම්බරයේදී බර්නිස් වර්ඩන් නම් වෙළඳ ගබඩා හිමිකාරිය අතුරුදහන් වූ විට සියල්ල වෙනස් විය. 58 හැවිරිදි වැන්දඹුවක් වන වර්ඩන් අවසන් වරට දැක ඇත්තේ ඇගේ ගබඩාවේ ය.  ඇගේ අවසාන පාරිභෝගිකයා අන් කිසිවෙක් නොව, ශීතකරණයක කොටසක් මිලදී ගැනීමට ගබඩාවට ගිය එඩ් ජීන් ය.

පොලිසිය විමර්ශනය කිරීම සඳහා එඩ්ගේ ගොවිපළ වෙත ගිය අතර එඩ් ජීන්ගේ නිවසට ඇතුළු වූ විගස, ඔවුන් කුස්සියේ සිටි බර්නිස් වර්ඩන් සොයා ගත්හ. ඇය මිය ගොස්, හිස ගසා දමා, ඇගේ වළලුකරවලින් වහලේ පරාලවල එල්ලා දමා තිබුණි. එඩ් ජීන්ගේ ඇඳ වියන්වල එල්ලා තිබූ හිස් කබල්, හිස් කබලෙන් සාදන ලද පාත්‍ර සහ මුළුතැන්ගෙයි උපකරණ ද අසංඛ්‍යාත අස්ථි ප්‍රමාණයක් ද සොයා ගන්නා ලදී. ඇටකටුවලට වඩා බිය උපදවනසුළු වූයේ එඩ් විසින් මිනිස් සමෙන් සාදන ලද ගෘහ භාණ්ඩයි. මිනිස් සමෙන් සකස් කරන ලද පුටු, සමෙන් සාදන ලද කූඩයක්, මිනිස් පාදවලින් සාදන ලද සපත්තු, මුහුණු වලින් සාදන ලද වෙස් මුහුණු සහ ලාම්පු ආවරණයක්, තන පුඩු වලින් සාදන ලද පටියක්, ගැහැණු ළමයෙකුගේ කොඳු ඇට පෙළක් බලධාරීන් විසින් සොයා ගන්නා ලදී. සම් භාණ්ඩ සමඟ, ඇඟිලිවල නියපොතු, නාසා හතරක් සහ විවිධ කාන්තාවන් නව දෙනෙකුගේ ලිංගික අවයව ඇතුළු විවිධ ශරීර කොටස්ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.  1954 දී අතුරුදහන් වූ තැබෑරුම් භාරකාරියක වූ මේරි හොගන්ගේ දේහය ද ඔවුන් සොයා ගත්හ.

ඔගස්ටාගේ මරණයෙන් වසර දෙකකට පසු තමා සංචාරය කිරීමට පටන් ගත් සොහොන් භූමි තුනකින් මේ අවශේෂ බොහෝමයක් එකතු කළ බව එඩ් ජීන් වහාම පිළිගත්තේය. ඔහු පොලිසියට පවසා ඇත්තේ තමා සොහොන් පිටිවලට ගොස් තම මවට සමාන යැයි සිතූ සිරුරු සොයමින් සිටි බවයි. අනතුරුව ඔහු එයට හේතුවද පැහැදිලි කළ අතර ඔහු බලධාරීන්ට පැවසුවේ තම මවගේ ආත්මයට නැවත මිනිසෙකු බවට පත්වීමට සහ රිංගා ගැනීමට “කාන්තා ඇඳුමක්” නිර්මාණය කිරීමට ඔහුට අවශ්‍ය වූ බවයි. අත්අඩංගුවට ගැනීමෙන් පසු 1957 දී ඔහුගේ උමතු මානසිකත්වය මත වැරදිකරුවෙකු නොවන බව සොයා ගන්නා ලද අතර, එඩ් ජීන් භින්නෝන්මාදයෙන් පෙළෙන බව හඳුනා ගෙන අපරාධමය උමතු සඳහා වූ මධ්‍යම රජයේ රෝහලක් වෙත යවන ලදී.

තවත් වසර දහයකට පසු, එඩ් නඩු විභාගයට පෙනී සිටීමට සුදුසු යැයි සලකනු ලැබූ අතර බර්නිස් වර්ඩන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු වරදකරු විය – නමුත් ඒ බර්නිස් වර්ඩන්ගේ ඝාතනයට පමණි. මේරි හොගන්ගේ මිනීමැරුම සඳහා ඔහුට විරුද්ධව කිසිවිටෙකත් නඩු නොපැවරුවේ එය මුදල් නාස්තියක් ලෙස රජය විසින් සැලකූ බැවිනි. එඩ් ජීන් ට තම ජීවිතයේ ඉතිරි කාලය රෝහල්වල ගත කරන්නට නිර්දේශ කරන ලදී.  1984 දී වයස අවුරුදු 77ක් වී මිය යන තුරුම, ඔහු වර්ඩන් සහ හොගන් දෙදෙනාම ඝාතනය කළ බව පැවසුවේය. පොලිසිය විසින් ඔහුගේ නිවසේ තිබී සොයා ගත් හතළිහක් පමණ පුද්ගලයන්ගේ මළසිරුරු කොටස් තමා සොහොන්වලින් සොරකම් කළ බව ද තරයේ කියා සිටියේය. තොරතුරු මඳකම නිසා එඩ් ජීන් ට කීදෙනෙක් ගොදුරු වූවාද යන්න කිසිවිටෙකත් සොයා නොගැණින. 

එඩ් ජීන්ගේ මව, පියා සහ ඔහුගේ ජීවිත කතාව ඇසුරෙන් නිපදවූ චිත්‍රපට ප්‍රේක්ෂකයන් නැවත නැවතත් භීතියට පත් කරනමුත් ඒවා එඩ් ජීන්ගේ සැබෑ ජීවිත කතාව තරම් අනුකම්පා උපදවන සුළු නොවේ. ප්‍රේක්ෂකයන් විසින් එඩ් ජීන් ඉතිහාසයේ වඩාත්ම කෘර දාම ඝාතකයෙකු හඳුන්වන බව නිසැකය.

නමුත් කුඩා කළ සිට අනේක දුක් විඳිමින්, මවගේ තාඩන පීඩන හා මානසික වධයන්ට ගොදුරු වෙමින් ඇති දැඩි වූ, තම ශරීර අඩුපාඩු, කථන අපහසුතා නිසා සමවයස් අයගෙන් කොන්වූ – හාස්‍යයට හා හිරිහැරයට ලක්වූ කුඩා දරුවෙකුගේ මනස මුළු මහත් සමාජයකින්ම පළිගැනීමට තරම් දූෂ්‍ය විය නොහැකිදැයි අප අපගෙන්ම අසා සිටිය යුතුය. 

  • සාරා වනිගසිංහ
ReplyForward

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles