ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකුට අයත් ගිනිඅවිය සහ ගමන් මල්ල සොරාගත් අයෙකු කිරුළපනදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැරයන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාවට යොදවා සිටි අයෙකු බවයි වාර්තා වූයේ
පසුගිය දිනෙක, මෙම සැරයන්වරයා රාජකාරී විවේකයෙන් පසු ඔහුගේ ගම වන මාතලේ වෙත යෑම සඳහා පිටකොටුවට පැමිණ හඳුනන වෙළඳසැලකට ගොස් ඇඳුම් බෑගය එහි තබා ඇති අතර ගිනිඅවිය සහ උණ්ඩ සහිත බෑගය පමණක් රැගෙන තවත් සැරයන්වරයෙකු සමග මත්පැන් පානය කර තිබෙනවා.
පසුව ඕල්කට් මාවතේ බස් නැවතුමේ කම්බි වැටක් අසල අදාළ සැරයන්වරයාට වෙරි මත නිසා නින්ද ගොස් ඇති අතර ඔහුගේ බඩුබාහිරාදියත් ගිනි අවිය සහ උණ්ඩ සහිත බෑගයත් අස්ථානගත වුණු බවයි වාර්තා වූයේ.
කිරුළපන පොලිසියේ කණ්ඩායමක් සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී අංක 6001109 දරන එන්.පී 22 වර්ගයේ පිස්තෝල අවිය, එයට යොදන ජිව උණ්ඩ 24ක්, මැගසින් 2ක්, අවි රඳවනයක්, මැගසින් රඳවනයක්, පොලිස් ක්‍රීඩා ඇඳුම් කට්ටලයක්, ඇමති ආරක්ෂක ඇඳුමක්, ඇමති ආරක්ෂක නිල හැඳුනුම්පත හා සටහන් පොතක්, පොලිස් සැරයන්වරයාට අයත් ඇඳුම් කිහිපයක්ද ඔහු ළඟ තිබී හමුවී තිබෙනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කෙරෙනවා.