ගුරු සංගම් සභාපතිටත් මරණ තර්ජන: තාඹුගලට පොලිසිය බයද – ස්ටාලින් අසයි

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුට මරණ තර්ජන එල්ල කිරීමක් සම්බන්ධයෙන් අද දහවල් අනුරාධපුර පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඊයේ දිනයේ එළවළු මිල දී ගැනීම පිණිස පොළට ගිය අවස්ථාවේ අවුරා ලංකා සමාගමේ සභාපති යැයි සඳහන් වෙන විරංජිත් තාඹුගල නමැත්තාගේ බෑණා යයි හඳුන්වාගත් අයෙක් මෙලෙස ගුරු සංගම් සභාපතිවරයාට මරණ තර්ජන එල්ල කර තිබෙනවා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර ප්‍රබල ක්‍රියාකාරිකයෙක් බවද සඳහන් වෙනවා.

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සිය මාමා බවත්, යාය 18 සංගීත සංදර්ශනයට බාධා කරමින් මාධ්‍ය හමු සංවිධානය කළේ ප්‍රියන්තලා බවත් පාතාලේ දම්මා එක බුලට් එකකින් ඔහුව ඉවර කරන බවත් කියමින් තර්ජනය කළ බව ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළා.

කෙසේ වෙතත් අප, සිය සංගමයේ සභාපතිවරයාට එල්ලවූ මරණ තර්ජනය පිළිබඳව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොස්ප් ස්ටාලින්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටින්නේ මේ අයට විරුද්ධව පොලිසිය වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

“මේ තාඹුගල කියන පුද්ගලයා පොලිසියේ ඕඅයිසීටත් මරණ තර්ජන කළා. අනුරාධපුරේ සිවිල් සංවිධාන මෙයාගෙ ක්‍රියාකාරිත්වයට විරෝධය පළ කරද්දි ලංකා ගුරු සංගමයත් ඒකට එකතු වෙලා සහයෝගය දුන්නා. දැන් එයාගෙ බෑණා කියාගන්න හෙංචයියෙක් අපේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සහෝදරයටත් මරණ තර්ජනය කරලා තියනවා. මෙහෙම මරණ තර්ජන කරන්න එයාට තියන බලය මොකක්ද? මෙහෙම නිදැල්ලෙ හැසිරෙමින් පොලිස් ස්ථානාධිපතිගෙ ඉඳන් සිවිල් පුරවැසියො දක්වා සියල්ලන්ටම මරණ තර්ජනය කරමින් නටන්න මෙයාට තියන අමුතු බලය මොකක්ද? විරංජිත් තාඹුගලට පොලිසිය බයද? වහාම මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියන එකයි අපට කියන්න තියන්නෙ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles