ඩෝල්ටන් අල්විස්ගේ පදරචනයෙන් පණ්ඩිත් අමරදේවගේ සුගායනයෙන් ගැයෙන සසර වසන තුරු නම් ප්‍රකටම ගීයේ එන කොටසක් මේ.
රත්නමාලි සෑ කිරණයි
මහ බෝ සෙවනයි
තිසා වැවයි සීගිරියයි
මගේ උරුමයයි
මෙරට පැරණිතම වාරි කර්මාන්තයක් වන තිසා වැව රක්ෂිතය බරපතළ ලෙස විනාශ කරමින් තිබෙන බව වාර්තා වෙනවා. හිටපු වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයෙක් වන ඩබ්ලිව්.පී.බී ඒකනායක විසින්ද තිසා වැව රක්ෂිතයේ නිවසක් ඉදිකර තිබෙනවා.
මේ පිළිබඳ විමසීමේදී ඔහු පවසා ඇත්තේ එය වැව රක්ෂිතය බව තමා දැන නොසිටි බවයි. කෙසේ වෙතත් ඔහුගේ සහ ඔහුගේ පුත්‍රයාගේ ද නිවාස ඉදිකර ඇත්තේ වැව් රක්ෂිතයේ බව ආරංචි මාර්ග තහවුරු කරනවා. මෙම ඉඩම් සඳහා ඔවුන්ට ඔප්පුද නොමැති බවයි කියැවෙන්නේ.
බීමට පවා අතීතයේ සිට ජලය භාවිතා වුණ දැනට විශාල පිරිසකගේ අවශ්‍යතා සපුරන තිසා වැව සංරක්ෂණය වැදගත් කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ.
පසුගිය දිනවල වැව් රක්ෂිතයේ ඇති විශාල ගස් ගිනි තබා ඇත්තේ අවට පිහිටි හෝටල්වල දර්ශන පථය වෙනුවෙන් බවයි වාර්තා වන්නේ. වැව් බැම්ම රක්ෂිතයේ ද හෝටලයක් ඉදි කර ඇතත් එය කඩා ඉවත් කිරීමට අධිකරණය තීන්දු කර තිබෙනවා.
ඓතිහාසිකව ද, ජාතික වශයෙන්ද, ජනතා සුබසිද්ධිය පැත්තෙන්ද අතිශය වැදගත්කමක් සහිත තිසා වැව රැක ගැනීම බලධාරීන්ගේ වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නෑ. කෙසේ වෙතත් දැන් පෙනී යන්නේ වැටත් නියරත් ගොයම් කා දමන බව පෙනි පෙනී කිසිවක් කරගත නොහැකිව සිටින්නට සිදුවී ඇති බවයි.
- ඩේලි මිරර් පුවත්පත් වාර්තාවක් ඇසුරෙන්