සියඹලන්ගමුව සිට බුල්නෑව දක්වා දිවෙන මාවතේ සවිකර තිබූ මාර්ග සංඥා, “කොත්තු ගැසීමට” ගලවාගෙන ගොස් ඇතැයි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුණෑගල දිස්ත්‍රික්කය හා ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනුරාධපුර දිස්ත්‍රික් මායිම් යා කරන මෙම ප්‍රධාන මාවත කිසිදු නඩත්තුවක් කර නැති බවට ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීමේදී එහි නිලධාරියෙක් ඒ බව සඳහන් කර තිබෙනවා.
“මාවත පටු නිසා අපි අවැසි තැන්වල ඈතට පෙනෙන්න මාර්ග සංඥා කිහිපයක් සවි කෙරුවා. රැස්වෙහෙර හංදියේ තිබූ ඒවා ලොරියකින් ඇවිත් ගලවගෙන ගියා කියලා අවට වෙළෙඳාම් කරන පිරිස් අපි එක්ක පවසා සිටියා. ඔවුන් ඒවා ගලවාගෙන තියෙන්නේ කොත්තු ගහන්නට තැටියට ගැනීම සඳහා කියලත් දැන ගත්තා. මේ සම්බන්ධව අපි පොලිසියට පැමිණිලිත් කෙරුවා. නමුත් සැකකරුවන් තව ම අල්ලාගෙන නැහැ. ඒ පාරේ දෙපසට අතු බර වී තිබෙනවා. අලි ගැවසෙන පෙදෙසක ගමනා ගමනයට එය බාධාවක් බව ඇත්ත. නමුත් අපිට ඒවා කපන්න යන්නට වාහන නැහැ. තෙල් සීමා කිරීම නිසා යන්න වාහනයක් තිබුණත් තෙල් ගැටලුව නිසා යන්නට බැරි වෙනවා. ඒ වාගේ ම පාරට බර වී තිබෙන ගස් කිහිපයක් කදුලුගමුව පැත්තේ තිබෙනවා. ඒවා කපා ඉවත් කරන්න අපිට බලයක් නැහැ. ඒ සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් මගින් දැව සංස්ථාවට කියලා තියෙන්නේ. එහෙත් ඔවුන් තවමත් ඒ ගස් කපා ඉවත් කරලා නැහැ. මොනා වුණත් මාවතට බාධාවක් වෙන කැළෑව කපා ඉවත් කිරීමට වහා ම පියවර ගන්නවා”