ඔන්ලයින් පනත සම්බන්ධව ඇමෙරිකාව කනස්සල්ලෙන්

පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ඔන්ලයින් පනත නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට බාධාවක් ඇති කරන බව මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් සඳහන් කරනවා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇති බව මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසනවා.

ඊට අමතරව, මෙම නව පනත මගින් නවෝත්පාදනයට සහ පෞද්ගලිකත්වයට බාධාවක් වී ඇති බව ද ඇමෙරිකන් තානාපතිනිය පෙන්වා දෙනවා.

විනිවිදභාවයකින් තොරව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, පනත් කෙටුම්පත සකස් කිරීමේ දී සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හෝ තාක්ෂණික සමාගම් නියෝජනයක් සිදු වී නැති බවත් ඇමෙරිකන් තානාපතිනිය පවසනවා.

“මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන්, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමක් සිදුවී ඇතැයි මට පෙනී යනවා. මෙම පනත හරහා අනවශ්‍ය ලෙස සීමා පැනැවීම ආයෝජන කටයුතුවලට පමණක් නොවෙයි, ඩිජිටල් ආර්ථික සංවර්ධනයට බාධා විය හැකියි. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකට බලපෑමක් විය හැකියි. නීති සම්පාදනය කළ යුත්තේ විනිවිදභාවයකින්. එසේ කටයුතු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් සහ ශ්‍රී ලාංකික වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග්, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් වැඩි දුරටත් පැහැදිලි කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles