සිර මැදිරියේ උන් සැකකරුවන්ට වස දුන්නාට “අක්කු“ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ආදුරුප්පුවීදිය පොලීසියේ රැඳවුම් භාරයේ සිටි ජින්තුපිටියේ ඝාතන සැකකරුවන්ට සයනයිඩ් මිශ්‍ර මාළු පාන් හා කිරිපැකට් ලබාදී පළා ගිය ප්‍රධාන සැකකරු ඇතුළු හත්දෙනෙකු ගලහ පොලීසිය හා පොලිස් විශේෂ කාර්යංශය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හුසේන් නොහොත් “අක්කු“ නමැති පුද්ගලයෙකු බවත් අත්අඩංගුවට පත් හත්දෙනා අතර නිවෙස් හිමියා ඇතුළු පිරිමි පුද්ගලයන් පස්දෙනෙකු හා කාන්තාවන් දෙදෙනකු ද සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සැකකරුවන් දෙපළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අවසරය මත ආදුරුප්පුවීදිය පොලීසියේ රැඳවුම් භාරයේ සිටිය දී එක් සැකකරුවෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු මාළු පාන් හා කිරිපැකට් දෙක බැඟින් ලබාදී සුවදුක් විමසා බලා බැහැරව ගොස් ඇති අතර ආහාර අනුභව කළ සැකකරුවන් දෙපළ රෝගාතුර වී කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඔවුනට සයනයිඩ් හා සමාන වස වර්ගයක් මිශ්‍ර කර මෙම ආහාර ලබාදී ඇති හෙළි වී තිබෙනවා.

එම සිදුවීමට අදාළව විමර්ශන සිදුකිරිමේ දී පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණේ සැකකරු ගලහ දෙල්තොට ග්‍රේට්වැලි වත්තේ නිවසක සැඟව සිටින බවයි. පෙරේදා රාත්‍රී 11ට පමණ ගලහ පොලීසිය හා විශේෂ කාර්යංශයේ ගම්පොළ ඒකකයේ නිලධාරීන් වස මිශ්‍ර ආහාර ලබාදුන් ප්‍රධාන සැකකරු ඇතුළු හත්දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් පිරිස අතර මෙම අපරාධයට සහාය වූ දෙදෙනෙකුත්, මොවුනට නවාතැන් දුන් නිවසේ සිව්දෙනෙකුත් සිටින බව පොලීසිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles