ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්රමසිංහ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර අද (28) සවස තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
ජනාධිපති අපේක්ෂකයා ලෙස ස්වාධීනව ඉදිරිපත්ව ඇති ජනපති රනිල් වික්රමසිංහ වෙත සිය සහය පළ කරනවා ද නැද්ද යන්න පොදුජන පෙරමුණේ තීරණය මෙම සාකච්ඡාවේදී ගැනෙනු ඇති බවයි පැවසෙන්නේ.
මෙයට පෙරද රනිල්-බැසිල් සාකච්ඡා වට කිහිපයක් පැවතියද ඒවා එකඟතාවකින් තොරව අවසන් වුණා.
පොදු අපේක්ෂකයෙක් ලෙස රනිල් වික්රමසිංහ ජනපතිවරයා වෙත සිය සහය පළ කරන්නේ නම් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන විශාලතම පක්ෂය ලෙස තමන්ට ලැබිය යුතු කෝටාව වැඩි විය යුතු බවයි පොදුජන පෙරමුණේ බැසිල් පාර්ශ්වයේ අදහස වී ඇත්තේ. අගමැතිකම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉල්ලා ඇති අතර එවැනි ප්රතිශතයකට ජනපති රනිල්ගේ පාර්ශ්වයෙන් එකඟ නැති බව පැවසෙනවා.
මේ වන විට පොදුජන පෙරමුණේ 60කට වඩා මන්ත්රීවරු පිරිසක් රනිල් වික්රමසිංහ වෙත පෞද්ගලික මට්ටමින් සහය පළ කිරීම රාජපක්ෂ පවුලේ සන්ත්රාසයට හේතු වී ඇති බව ආරංචිමාර්ග කියා සිටිනවා.