බංග්ලාදේශ මුල් පෙළ සුනුවිසුණු කළ නුවන් තුෂාරගේ දක්ෂ පන්දුයැවීම සහ කුසල් මෙන්ඩිස්ගේ මනරම් පිතිකරණය හමුවේ ශ්රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැති තෙවන 20/20 තරඟයෙන් ලකුණු 28ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මේ අනුව දෙරට අතර තරඟ තුනකින් සමන්විත වූ 20/20 තරඟාවලිය 2/1ක් ලෙස ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකි වුණා.
බංග්ලාදේශයේ ‘සිල්හෙට්’ ක්රීඩාංගනයේදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායකයාගේ ඇරයුමින් මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා.
ඉනිමේ නැංගුරම වෙමින් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් අලංකාර පිතිහරඹයක් දියත් කරමින් පන්දු 55කින් වේගවත් ලකුණු 86ක් රැස්කළ අතර ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් ඇතුලත් වුණා.
දසුන් ශානක ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ පිටියට පිවිසී පන්දු 9කින් වේගවත් ලකුණු 19ක් රැස් කළා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් ටස්කින් අහමඩ් ලකුණු 25කට කඩුලු 3ක් සහ රිෂාඩ් හුසේන් ලකුණු 35කට කඩුලු 2ක් දවාගත්තා.
අනතුරුව ලකුණු 175ක පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට බංග්ලාදේශ ක්රීඩකයින් පිටියට පිවිසි අතර ඔවුන්ට පන්දුවාර 19යි පන්දු 4ක් තුල සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 146ක් පමණයි.
සිව්වන පන්දුවාරයේ පන්දුව අතට ගත් නුවන් තුෂාර බංග්ලාදේශ පිතිකරණ ලැයිස්තුවේ මුල්පෙළ සුනුවිසුණු කරමින් එම පන්දු වාරයේ දෙවන, තුන්වන සහ සිව්වන පන්දුවලින් පිළිවෙලින් බංග්දේශ නායක නජ්මුල් සන්ටෝ, තව්හිඩ් හිරිදෝයි සහ මහමදුල්ලා දවාගනිමින් විශිෂ්ට කඩුලු ත්රිත්වයක් වාර්තා කළා.
ශ්රී ලංකා පන්දුයවන්නෙකු අන්තර්ජාතික 20/20 තරඟයක ලබාගත් හයවෙනි කඩුලු ත්රිත්වය ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වෙනවා.
එහිදී බංග්ලාදේශ ඉනිම සම්පුර්ණයෙන්ම අඩපණ කළ තුෂාර සිය පන්දුවාර 4ට ලකුණු 20ක් පමණක් ලබාදී කඩුලු 5ක් දවාගත් අතර ශ්රී ලංකා පන්දුයවන්නෙක් මෙවැනි දක්ෂතාවයක් දැක්වූ 6 වැනි අවස්ථාව මෙය වෙනවා.
කෙසේ වෙතත් බංග්ලාදේශය වෙනුවෙන් සටන්කාමී ඉනිමක් දියත් කළ රිෂාඩ් හුසේන් පන්දු 30ක් තුළ හයේ පහර 7ක් සමඟින් වේගවත් ලකුණු 53ක් රැස් කළ නමුත් එය ජයග්රහණය සඳහා ප්රමාණවත් වුණේ නෑ. ටස්කින් අහමඩ් පන්දු 21ට ලකුණු 31යි.
වනිදු හසරංග පන්දුවාර 4ක් යවා ලකුණු 32කට කඩුලු 2ක් බිඳ දැමුවා.
තරඟයේ වීරයා සම්මානය නුවන් තුෂාරත්, තරඟාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ටත් හිමි වුණා.
මේ අනුව දෙරට අතර මේ දක්වා 20/20 තරඟාවලි 5ක් පවත්වා ඇති අතර ඉන් එක් තරඟාවලියක් පමණක් සම තත්ත්වයෙන් අවසන් වී, සෙසු තරඟාවලි 4 ජය ශ්රී ලංකාව හිමිකරගනිමින් තවදුරටත් අපරාජිතව සිටිනවා.
දෙරට අතර පැවැත්වෙන එක්දින ක්රිකට් තරඟාවලියේ පළමු තරඟය ලබන 13දා චිතගොං හීදි පැවැත්වීමට නියමිතයි.
- රුවන්ත නිතුල්ගස්පිටිය