ඉතාම දුර්වල කවියකට යටින් ප්‍රවීණයෙක්ගෙ නම දැම්මොත් ‘ඒ කවිය මාරයි’ කියනවා: ටිම්රාන් කීර්ති

කවියෙක් කියන්නෙ විශ්වකර්මයෙක් නෙවෙයි ඒක ඇත්ත. ඒත් කවියෙක් කියන්නෙ, ඊටත් වඩා විශ්මිත දේ කළ හැකි කෙනෙක්.

සැබෑ කවියෙකුට සිය පරිකල්පන නිම් වළලු විහිදා හැරිය හැකි දුර අසීමාන්තිකයි.
එක් තැනක හිඳිමින් විශ්වය සිසාරා පියඹා යා හැකියි. එසේ ගොස් සොයා ගෙනැවිත් දෙන දේ රසිකයා විශ්මයට පත් කරවයි.

ටිම්රාන් කීර්ති. ඔහු අපේ කවියන් අතර ඉදිරි පෙළ ඉන්න කාව්‍ය ප්‍රතිභාවෙන් පොහොසත් කවියෙක් කිව්වොත් හරි. ඔහුගෙ කවිය මේ වෙද්දී රාජ්‍ය සම්මාන දෙකක් ,
ගොඩගේ සම්මාන,
රජත පුස්තක සම්මාන,
විද්‍යෝදය සම්මාන හිමි කර ගෙන තියෙනව‍ෙ.ඒ සියල්ල පසෙකින් තැබුවත්, ඔහු ජනාදරය නොඅඩුව ලබන ජනතාවගේ කවියෙක්.

ටිම්රාන්ගෙ කවි රටාව අමුතු මැජික් එකක් .

2009 දි ‘සාදය සූදානම්‍’ කර පටන් ගත්
‘යන්නම් චන්දරේ’,
‘පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇළකට’,
‘ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි ‘ කියමින් 2024 දි
‘මදුරාවතී නම් තරු රටාව ‘ පෙන්වන ටිම්රාන් කීර්තිගෙන් ඒ ගැනත් අහන ගමන් අපි කතාවකට මුල පිරුවා.

ටිම්රාන් කීර්ති

” මේ පොත ආවේ අවුරුදු හතරකට පස්සෙ .අලුත් පොතකට කාලෙ හරි කියල මතක් කෙරුවෙ මනෝරි සිලිකා. අගක් මුලක් නැතිව ඔහේ ලියල දාපුව පිළිවෙලක් කරන්න ඕනෙ කියන අදහස ආවෙ උපුල් ශාන්ත සන්නස්ගල එක්ක කරපු කතාබහෙන් පස්සෙ. පොතට නම් දෙකක් ඔළුවෙ තිබුණා. ‘මී අඹ සක්කරා’ අනිත් නම. ‘මදුරාවතී නම් තරු රටාව’ සිනමාරූපී ගතියක් තියෙනව වගේ හිතුණා. ළහිරු කරුණාරත්න මේ නම ගමුද කියල අන්තිමට ඇහුවා.”

කවිය යනු කුමක්ද ?
ඔහු කවි ලියන්න පටන් ගත්තේ කොහොමද ? අපි ඇහුවා.
( ටිම්රාන් කීර්ති )

” කවිය කියන්නෙ මොකක්ද කියල හරියටම දන්නව නම් මම කවි ලියන එකක් නෑ. මට පහසු ප්‍රකාශන මාදිලිය විදියට කවියත් එක්ක යම් ගනුදෙනුවක ඉන්නව. ඒක ගමනක්. ඒ ගමන ඇතුළෙ ම තමා කවිය කියන්නෙ මොකක්ද කියල මම ඉගෙන ගන්නෙ. කවිය කියන සියුම් මාධ්‍ය වටහා ගැනීමට දරන උත්සාහය වගේම වෙනස් කවි සහ කවියන්ව දරා ගැනීමත් එක්තරා කවියක්.

කවි ලියන්න ඕනෙ කියලා ආව විශේෂ හේතුවක් මතකයට එන්නෙ නෑ. හුඟක් වෙලාවට ලියන කියන මිනිස්සු තමන්ගෙ ගමන පටන් ගන්නෙ සොබා සෞන්දර්යෙන් මත් වෙලා වෙන්න පුළුවන්. මටත් එහෙම තැන් තිබුණා. මගෙ වටපිටාව ළමා කාලයෙ ඇතැම් මිහිරි තැන් පෙළඹවීම් සහිත එකක්. ඉතින් ඒ බලපෑම් හේතු වන්න ඇති. චිත්‍රකතා පත්තර, ගුවන්විදුලිය, මේ හැමදේකම රහ මාත්තුව වින්දා. ඒ විඳීම් පහු කාලෙදි ඉබේම කාන්දු වන්න ඇති. ගම හදන්න, රට හදන්න හිතන් නෙවෙයි මගෙ ලිවීම් ඇරඹුණේ. ඒක මං වෙනුවෙන්ම කෙරුණ වැඩක්.

පය ගහල ඉන්න පොළොව ගැන යම් අවබෝධයක් අදහසක් මනුස්සයෙකුට තියෙනව. ඒ ලිවීම් වලින් අපේ විරෝධාකල්ප එළියට එනව. අඩු වැඩි වශයෙන් කිසියම් බලපෑම් සහගත ලිවීම් කවි ඇතුළෙ දි හම්බ වෙනව.”

ඔහුගේ නිර්මාණ ඔහු පැරණි පොත පත ඇසුරු කරන නිර්මාණකරුවෙක් බව අපට ඒත්තු ගන්වනවා.
එවැනි සාහිත කියැවීම් කවියෙකුගෙ නිර්මාණකරණයට කොයි තරම් දුරට ප්‍රයෝජනවත් ද කියා ඇසූ පැනයට ඔහුගෙ පිළිතුර.

” මම විවිධ දේ කියවනවා. මට අනුව නම් කියවීම කියන්නේ රේස් එකක් නෙවෙයි. නිවිහැනහිල්ලෙ කරන්න ඕන වැඩක්.
කෝල් මුර කවි, දේව කතා සාහිත්‍ය …ඒවා බොහොම රහ වෑහෙන කලාපයක්.

පත්තිනි හෑල්ල ගත්තත් කියවන, අහන මිනිහෙකුට කිසි කම්මැලිකමක් නැතිව සිදුවීම් අඩවියක සැරිසරන්න පුළුවන්. දහම්ගැට කවි කියවද්දි ඒ භාෂාත්මක වැඩ දිහා බලන් ඉන්න ලෝභ හිතෙනවා. නූතන සාහිත්‍ය වගේම පැරණි සාහිත්‍ය පරිශීලනය කවියන්ට විතරක් නෙවෙයි ඕනෙම මනුස්සයෙක්ට වටිනවා. මම බරපතල කියවන්නෙක් නෙවෙයි. හිතුණම කියවන කෙනෙක්.”

ටිම්රාන් කීර්ති

කවියට ප්‍රමිතියක් හැදෙන්න ඕනෙද නැද්ද යන අපේ විමසීමට ටිම්රාන්ගේ අදහස. ( ටිම්රාන් කීර්ති )

“කවියට ප්‍රමිතියක් ඕනෙ. ඒත් ඒ ප්‍රමිතිය තීරණය කරන්නෙ කවුද?කොහොමද?
කෙනෙක් ඉතා හොඳයි කියන කවියක් තව කෙනෙකුට ඉතා නරක කවියක් වගේ පේන්න පුළුවන්. කවියෙ භාෂාව සම්බන්ධව කෙනෙකුට කෝපයක් උපදවන තැනම තව කෙනෙකු ගෙ ප්‍රීතිය තියෙන්න පුළුවන්. කවියක දෘෂ්ටිය ගැන කෙනෙකු ට තියෙන ව්වේචනයක් තව කෙනෙකුට එහෙම නොවන්න පුළුවන්.”

ටිම්රාන් නම් කවියාගේ කවි ලිවීමේ ලාලසාව මතු කළ රත්න ශ්‍රී විජේසිංහයන් ගැන ත් ඔහු සඳහන් කළේ කෘතවේදීව.

” මම කවි නොලියන අවධියෙදි ලිවීමේ ආසාව දැල්වුවේ රත්න ශ්‍රී විජේසිංහයන්ගෙ ‘ වස්සානය’ කවි පොත. බොහොම ගෞරවයෙන් ඒ මතකය සිහි කරනවා.”

සමාජයේ විශේෂ කතිකාවකට බඳුන් වූ හොඳම ගීත රචනයට හිමි රයිගම් සම්මානයත් හිමි කර ගත් ‘පොඩ්ඩියේ’ ගීතය ගැනත් කවියෙන් එහාට ගිය ඔහුගේ එවන් අනෙකුත් නිර්මාණ ගැනත් ඔහු කතා කළා.

” පොඩ්ඩියෙ’ මිනිස්සු අතරට ගියා. කවියෙන් එහා ඕඩියන්ස් එකකට ඒක ගියේ ‘පොඩ්ඩියේ’ ගැයුව සාදර බණ්ඩාර හින්දා. සන්ජීව් ලෝන්ලියස් එක්ක කරපු ‘අමු සිංදු ‘ වැඩත් අලුත් කලාපෙක වෙන අත්දැකීමක්. ‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටියට රුවන් බන්දුජීවත් එක්ක ලියපු ගීත ටිකත් රහ මතක සහිත අත්දැකීම්. මිරාන් අර්චන එක්කත් පොඩි පොඩි වැඩ ටිකක් කෙරුවා. දවසක ඒවා මිනිස්සුන්ට අහන්න දකින්න ලැබෙයි.

මම ලියපු හැම එකක්ම ආසාවෙන් කරපුව. කවි පොත්වලට වඩා වැඩි මිහිරක් දැනුනෙ ‘සඳ හැදුණ හැටි’ කෙටිකතා පොත ලියද්දි. නොදන්න විෂය කලාපෙක දන්න කළමනා ටිකක් එක්ක අතරමං වන එක වෙනස් දෙයක්. ඒක ලියැවෙන්නෙ අසිත ගීත් කුමාරගෙ නිට්ටඹුවෙ බෝඩිමෙන්. ඒ කතා එක්ක සුජීව සිරිමෙවන්, ඩොමිනික් චන්ද්‍රසාලි, ප්‍රදීප් බමුණුසිංහ අපි ඔහේ කරක් ගැහුව. ඉතින් ඒක අපූරු මතකයක්. නව කතාවක් ලියන්න විශේෂ උනන්දුවක් නෑ. මගේ වැඩබිම කවිය. නවකතාවක් කවද හරි ලියයි. මගේ හැඩේ ඒකෙ තියෙයි.”

අලුතින් ලියන ෆේස්බුක් කවි කිවිඳියන්ගෙ නිර්මාණ කුසලතාව ගැනත් ඒ වේදිකාවේ හැසිරීම් ස්වභාවය ඔහු දකින විදිහත් .. ( ටිම්රාන් කීර්ති )

” ඉතා හොඳට ලියන අලුත් කවි කිවිඳියො ඉන්නව අපි දකිනවා. ඒ අය එයාලගෙ වැඩේ කරන් යයි. ගමනක මුල වැරදීම් අඩු පාඩු වෙනව. කිසිම කවියෙක්ගෙ හැම කවියක්ම විශිෂ්ඨ කවියක් නෙවෙයි. ඉතාම දුර්වල කවියකට යටින් ප්‍රවීණ කවියෙක්ගෙ නමක් දැම්මොත් ‘ඒ කවිය මාරයි’ කියන්න ඕන තරම් අය ඉන්නව. අලුත් කවියෙක්ගෙ ඉතා හොඳ කවියකට අර වගේ උණුසුම් පිළිගැනීමක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. අලුත් කවියන්ට උපදෙස් දෙන්න තරම් දියුණු සාහිත්‍ය දැනුමක් මට නෑ .දැනෙන කවියකට පට්ටයි, මාරයි කියල කෙටියෙන් කියන එක නුසුදුසු වුණත් මන් එහෙම කියලා මගෙ රසිකත්වය ප්‍රකාශ කරනව සරලව.”

රටේ වර්තමාන ආර්ථිකය තුළ කවි පොතක් පළ කිරීමේදී මුහුණ දෙන්න වන අභියෝග ගැනත් එහෙදී ප්‍රකාශකයාගේ රුචිකත්වය සහ වින්දන පරාසය ඊට බලපානවා ද යන කරුණ ගැනත් ඔහුගෙ අදහස මෙසේය.

“කවි පොතක් කරන එක අහියෝගයක්. ඒ කියන්නෙ කවියක් ලියන එකම වෙන වැඩක්. ඉතින් කවි පොතක් ලියනව කියන්නෙ මොන තරම් අභියෝගයක්ද. හැබැයි පොතක් මුද්‍රණය කරන එක එතනින් එහා තියෙන දෙයක්.

සරලවම කියනව නම් ප්‍රකාශකයෙක් හොයා ගැනීම. මේ ගැටලුවට වැඩියෙන්ම මුහුණ දෙන්නෙ අලුත්ම අය.
ඉස්සරට වඩා දැන් වෙද්දි කවි කිවිඳියන්ට අවස්තාව තියෙනව. අලුත්ම කවි පොත් දකින්න ලැබෙනව. අත්පිටපතක් අතට ලැබුණ ම කවියන්ගෙ නම් ගම් අමතක කරලා ආධුනික ද ප්‍රවීණ ද නොහිතා කවි වල ගුණාත්මක බව ගැන විමසිලිමත් වන එක ප්‍රකාශකයින්ගෙ යුතුකමක්. කවිය වෙනුවෙන් මහන්සි වෙලා පොතක් කර ගන්න අපහසුවෙන් ඉන්න කවියෙකුට කිවිඳියෙකුට උදව්වක් වෙන්න රාජ්‍ය මට්ටමෙන් යම් සහයෝගයක් ලැබෙනව නම් ඒක වටිනවා.

රටක ආර්ථික තත්වය දේශපාලන වට පිටාව ඒ රටේ කවියන්ට නිර්මාණකරුවන්ට ඍජුවම බලපානවා. දැන් පවතින තත්වයත් එක්ක
ජීවිතේ පිටින්ම කඩා වැටෙද්දි ලියන්න කරන්න, හිතන්න තරම් නිරවුල් මනසක් නැති තරම්. එහෙම කියල හැමදේම හරි යනකල් ඉඳලා නිර්මාණ කරන්න බෑ. කිසි දෙයක් සනීපෙට වෙන්නෑ. ආලෝකයට කලින් අඳුර හම්බ වෙනවා. මග අරින්න බෑ.”

කවිකම ආභරණයක් කර ගෙන තරු වගේ හැසිරෙන සමහර අය අතර තමන්මේ මහ පොළොවෙ දූවිල්ල අත පත ගාමින්, ඒ සුවඳ විඳිමින් කවිකම පුහුණු කරන්න ඕනෙ කියලා හිතන කවියොත් අපේ රටේ ඉන්නවා.’ ටිම්රාන් අන්න එහෙම කවියෙක්’ .මේ සොඳුරු කතාබහෙන් පස්සෙ අපිට එහෙම හිතෙනවා.

වයලට් ප්‍රියදර්ශනී විතානගේ

පෙර ලිපියකට සබැඳිය –

https://lankaline.lk/2024/06/23/alberts-are-human-too

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles