අතිශය නින්දිත ආකාරයට සංචාරකයන් දෙදෙනෙකුට පහර දී දුම්රියකින් එළියට ඇද දමන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ඊයේ (5) දින ප්‍රචාරය වුණා.
එංගලන්තයේ සිට මෙරට සංචාරය සඳහා පැමිණි සංචාරකයන් දෙදෙනෙකුට මෙසේ පහර දී තිබෙන්නේ, ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කළ බවට චෝදනා කරමින්.
කෙසේ වෙතත්, උදෑසන 5.50ට කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙන පොඩි මැණිකේ දුම්රියට සංචාරකයන් තිදෙනෙකු ගොඩ වැදී ඇත්තේ ඇල්ල දක්වා යෑමටයි. නාවලපිටිය දුම්රිය ස්ථානයේදී ටිකට්පත් පරීක්ෂා කිරීමේදී මොවුන්ගෙන් දෙදෙනෙකු අත ටිකට්පත් තිබී නැති බවයි පැවසෙන්නේ.
මේ දෙදෙනාට දුම්රියෙන් බැසීමට අණ කළත් ඔවුන් එය පිළිනොගෙන ඇති අතර පසුව ටිකට් පත් පරීක්ෂකවරුන් නාවලපිටියේ දුම්රිය සේවකයන් කැඳවාගෙන ඔවුන්ට පහරදී එළියට ඇද දමා තිබෙනවා.
මෙම සිද්ධිය හේතුවෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ටිකට්පත් රහිතව ගමන් කිරීම වරදක් වුවත් එයට එරෙහිව ඇති නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක නොකර මෙලෙස කැළෑ නීතියට තඩි බෑමෙන් ප්‍රශ්න විසඳීමට ගිය අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි බොහෝ දෙනා පවසන්නේ.
රට අන්තිම අමාරු අඩියකට වැටී, සංචාරක කර්මාන්තය යම් සංවර්ධනයක් පෙන්නුම් කරන මොහොතක සියලු පුරවැසියන් එක් වී එය රැක ගැනීමට ක්‍රියා කළ යුතු තත්වයක මෙවැනි අමනෝඥ හැසිරීම් සමාජයක් ලෙස ප්‍රතික්ෂේප කළ යුතු බව සංචාරක කර්මාන්තයට සම්බන්ධ ක්‍රියාකාරිකයන් පවසනවා.