ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ පාතාල ගැටුම්වලදී නම කියවෙන අයෙකු වන ඔස්මන් ගුණසේකර ඝාතනය සඳහා යොදවා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
ටී56 ගිනි අවියක් සහ රිවෝල්වරයක් සමගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු උත්සවයකදී ඔස්මන් ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි සහ 30 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.
ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ ගෝලයෙකුගේ කොන්ත්රාතුවක් මත මෙම ඝාතනය සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.
කෙහෙල්බද්දර පද්මේට ගම්පහ සිය අණසක ක්‍රියාත්මක කිරීමට ඔස්මන් බාධාවක් වී ඇති බැවින් ඔහු ඝාතනය කර දැමීමට මෙසේ කරන සැලසුම පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත ඔත්තුවක් මගින් වාර්තා වී ඇති බවයි දැනගැනීමට ඇත්තේ. කප්පම්කරුවන්ගෙන් ගම්පහ බේරී තිබෙන්නේ ඔස්මන් නිසා බවයි බොහෝ දෙනා පවසන්නේ.