යුද හමුදා සෙබළුන් දෙදෙනෙක් එකම දිනයකදී එකම ආකාරයකට දිවි නසාගෙන තිබෙන්නේ ගම්පොළ සිය නිවෙස් තුළයි. එක් අයෙක් 21 හැවිරිදි වන අතර අනෙක් සෙබළාට වයස 42ක් බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, මේ මරණ දෙක අතර සම්බන්ධයක් ඇත්තේ නැති බවයි කියැවෙන්නේ.
මෙයින් 21 හැවිරිදි තරුණයා වන පල්ලෙකැළේ යුද හමුදා ඉංජිනේරු බලකායේ සේවය කළ අතර ඔහු සිය දිවි නසාගෙන ඇත්තේ ඔහු සමඟ සේවය කරන අනෙක් අයවළුන් එල්ල කරන පීඩනය දරාගත නොහැකිව බව ඔහුගේ මව සහ පියා හදිසි මරණ පරීක්ෂණයේදී පවසා තිබෙනවා.
කඳවුරේ සේවය කරන පිරිස් නිතර නිතර මොහුගෙන් මුදල් ඉල්ලා කරදර කරන බවත්, මවගේ රන් අබරණ පවා උගස් කොට මුදල් ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබුණා. දිවි නසාගත් සෙබළා සිය උපන් දිනය 23 දා ඉහළින් නිවසේ දී සමරා ඇති අතර පසු දින හමුදා කඳවුරේ පිරිස් ඔහු අමතා තමන්ට සාදයක් නොදීම ගැන දෝෂාරෝපණය සහ තර්ජනයද කළ බව ඔහුගේ මව දුරකතන අංක පවා පෙන්වා කියා සිටියා.
මෙම මරණ පරීක්ෂණය පැවැත්වූ ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක ඒ අවස්ථාවේ පැමිණ සිටි යුද හමුදා පොලිසියට අවවාද කරමින් කියා සිටියේ මෙවැනි සිද්ධීන්ගෙන් යුද හමුදාවේ විනය පිළිබඳ ගැටලු මතු වෙන බවයි. බාල වයස්කරුවන්ගේ දරා ගැනීමේ සීමාවක් ඇති බවත් ඉහළ නිලධාරීන් මේවා සොයා බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.