අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් ඊයේ (22) දින උදේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී ටී.56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණා.
සංචාරක මග පෙන්වන්නෙකු ලෙස වෘත්තීය ඇරඹූ බව කියන සමන් පසුව හෝටල් ක්ෂේත්රයට එක්ව තිබෙනවා. ඒ අනුව ඔහු හඳුන්වනු ලැබ තිබෙන්නේ රෝයල් බීච් සමන් යනුවෙන්. ඔහුට හිමි රෝයල් බීච් නම් හෝටලයේ නම අනුව එය යොදන බව සඳහන්.
කෙසේ වෙතත්, සමන් පෙරේරාට පාතාල ගනුදෙනු තිබුණ බවටද චෝදනා තිබෙනවා. කොස්ගොඩ සුජී නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා ඔහුගේ ප්රධාන සතුරෙකැයි කියවෙනවා.
ඒ අතර ඔහු අපේ ජනබල පක්ෂය හෙවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිස පසුගිය මහමැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂයේ නායකයා වෙනවා. එම පක්ෂය පියසිරි විජේනායක නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයාගෙන් මුදලට මිලට ගත් බවත් සමහර ආරංචි මාර්ග පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේදි රෝයල් බීච් සමන් හෙවත් සමන් පෙරේරා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින්. ඔහු සමත් වූයේ ඡන්ද 3000කට අඩු ප්රමාණයක් ලබා ගැනීමට පමණයි.
පසුව මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේ ජනබල පක්ෂය එක් මැතිවරණ අසුනක් දිනාගත්තා. ඒ සඳහා එම පක්ෂයේ දරුණු බල අරගලයක් ගොඩ නැගුණා. එම ධුරය වෙනුවෙන් සුුදුසුකම් ලැබූ වේදිනිගම විමලතිස්ස හිමි පැහැර ගැනුණා. එය සිදු කළේ අතුරලියේ රතන හිමි, වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් බවත් එකල කියැවුණා.
කෙසේ වෙතත් වාරික ක්රමයට මන්ත්රී ධුරයේ කටයුතු කරන බවට සමන්, රතන හිමි, ඥානසාර හිමි එකඟතාවකට එළඹි බව කියතත් මේ දක්වා එම ධුරය තනිව පරිහරණය කරන්නේ අතුරලියේ රතන හිමි විසිනුයි.
මේ සම්බන්ධයෙන් බොහෝ ආරවුල් පවතින බව ඔහු පසුගිය වසරේ ප්රකට යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකදී පැවසුවා.
එහිදී රතන හිමියන් සහ ඥානසාර හිමියන් දැඩිව විවේචනය කිරීමට ඔහු පසුබට වූයේ නැහැ. ඔහු කියා සිටියේ මේ පිරිස ඉතා දුසිල්වත් පිරිසක් බවයි. ඒ අතර ඊයේ ඝාතනයට ලක් වූ සමන් පෙරේරාට අද (23) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණේ අතුරලියේ රතන හිමිට මරණ තර්ජන කිරීමක් සම්බන්යෙන්.
ජනපති අපේක්ෂකයෙක් වූ සමන් පෙරේරාගේ මරණය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්රතිඵලයක් ද නැතහොත් දේශපාලන ගැටුමක ප්රතිඵලයක්ද යන්න අනාගතය විසින් හෙළිදරව් කරනු ඇති වුවත් එකී මරණය මෙරට කුණුවුණු දේශපාලන දේහයේ එක් පිළිබිඹුවක් බව කිව යුතු වෙනවා.