ප්‍රකට නිරූපිකාවක් වන පියුමි හංසමාලිගේ ආදායම් ලැබෙන ආකාරය සැක සහිත බවත්, හිටපු ජනපතිවරයා භාවිත කළ රේනජ් රෝවර් රථය ඇය ලබාගැනීම ද සැකසහිත බවත් කියමින් මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ (17) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඔහු පවසන්නේ රංගන ක්ෂේත්රයේ සැලකිය යුතු රඟපෑමක් නොකරන රූපලාවන්‍ය ක්‍රීම් වර්ග අලෙවිය පමණක් සිදු කරන පියුමි හංසමාලි වැනි කෙනෙක් හිටපු ජනපතිවරයෙක් භාවිත කළ ජීප් රථයක් ලබා ගන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බවයි.
මැතිවරණයක් ආසන්නයේ දේශපාලකයන් සිය කළු සල්ලි සුදු කරමින් සිටින බවත්, මුදල් විශුද්ධිකරණයේ යෙදෙන අයට හොඳ කාලයක් ලබා ඇති බවත් පවසන ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය (CBH 1949) පියුමි හංසමාලි ලබා ගත් ආකාරය ගැන සැකයක් ඇති බව පවසනවා. අධිසුඛෝපභෝගී මහල් නිවාසවල ජීවත් වෙමින් එවැනි දිවියක් ගත කරමින් සිටින ඇය කළු සල්ලි සුදු කිරීමට පාවිච්චි වෙන්නේද යන්න සැකයක් ඇති බව වැඩිදුරටත් කියා සිටි ඔහු මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව අවධාරණය කළා.