විදුලිබිල වැඩි වීම නැවත සිදු වුවහොත් ශ්‍රී ලකාව, දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට පත් වන බව බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය සඳහන් කරනවා.
මේ වන විටත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රටවල් අතර තෙවැනි ස්ථානයේ පසු වන බවත් පෙන්වා දෙන ඔහු විදුලි නිෂ්පාදන මිල අවම කිරීම සඳහා කඩිනමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවයි පෙන්වා දෙන්නේ.
මේ අතර, මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ, විදුලි ගාස්තු යළි ඉහළ නැංවීම පිළිබඳ තීරණය ලබන ඔක්තෝබර් මස 18 වැනිදායින් පසු ප්‍රකාශයට පත් කරන බවයි.
ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන මතය විමසීමෙන් අනතුරුව අවසන් තීරණයට එළඹීමට නියමිත බවයි, එම කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු පැවසුවේ.
ලබන මස පළමුවන දා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණේ මෙම වසරේ ජූලි මාසයේ සිට දෙසැම්බර් කාලවකවානුවට අදාළව සිය ඇස්තමේන්තුගත වියදම ඉහළ ගොස් ඇති බව පවසමින්.
ජලවිදුලියෙන් සහ ගල්අඟුරුවලින් විදුලි උත්පාදනය පහළ යෑම සහ විදුලි ඉල්ලුම ඉහළ යෑමයි ඒ සඳහා බලපා ඇති කරුණු ලෙස ඔවුන් දක්වා ඇත්තේ.
ආකාර දෙකකින් විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා ඉදිරිපත් කර තිබුණු අතර යෝජනාව සම්බන්ධයෙන් කඩිනමින් සලකා බලන ලෙස අමාත්‍ය මණ්ඩලය ද උපයෝගිතා කොමිසමට දන්වා තිබෙනවා.
යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයේ එක් යෝජනාවකට අනුව දැනට පවතින මාසික විදුලි ගාස්තුව 22%කින් වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.
දෙවැනි ගාස්තු සංශෝධන යෝජනාවේ දැක්වෙන්නේ එක් ඒකක කාණ්ඩයක් සහ දැනට පවතින ගාස්තුව රුපියල් 8කින් වැඩි කිරීමයි.