ඉලංකෙයි තමිල් අරසු කච්චි මෙවර ජනාධිපතිවරණයේදී කුමන ස්ථාවරය ගන්නේදැයි යන්න අවසන් තීන්දුව සැප්තැම්බර් 15 වෙනිදා නිවේදනය කරන බව එහි නායක මාවෙයි සේනාධිරාජා පවසනවා.
ඉලංකෙයි තමිල් අරසු කච්චි සහාය ඉදිරි ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ලබාදීමට එහි මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පසුගිය දා ප්‍රකාශ කළා.
කෙසේවෙතත් ඉලංකෙයි තමිල් අරසු කච්චි කිළිනොච්චි ශාඛාවේ නියෝජිතයන් ඉකුත් සඳුදා විශේෂ රැස්වීමක් කැඳවා ඇති අතර සජිත් ප්‍රේමදාසට සහාය දීමට ගත් තීරණය වෙනස් කරමින් දෙමළ පොදු අපේක්ෂක පී. අරියනේත්‍රන්ට සහාය දැක්වීමට එහිදී ඔවුන් ඒකමතිකව තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙවන් පසුබිමක එහි විශේෂ කමිටු රැස්වීමක් ඊයේ (10) පක්ෂ නායක මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේදී පවත්වා ඇති අතර ඒ අනුව කුමන අපේක්ෂකයාට සහාය යන අවසන් තීරණය සැප්තැම්බර් 15 වෙනිදා නිවේදනය කරන බවට අවසන් තීරණයක් ගෙන තිබෙනවා.
මේ අතර ස්වාධීන ජනපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත් සෙනසුරාදා මාවෙයි සේනාධිරාජාව ඔහුගේ යාපනයේ පිහිටි නිවසේදී පෞද්ගලිකව හමුවී සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.