සමාජ මාධ්‍ය නියාමනය පිණිස ආණ්ඩුව විසින් ගෙන එනු ලැබ තිබෙන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පණත් කෙටුම්පත” රට ආපස්සට හරවන, රටේ මෙතෙක් ආරක්ෂා වී ඇති මූලික අයිතිවාසිකම් පවා අභියෝගයට ලක් කෙරෙන පණත් කෙටුම්පතකි.
මෙය මෙරට මානව හිමිකම් සහ ප්‍රකාශනයේ නිදහස කෙරෙහි සාවධාන සියලු පාර්ශ්ව පක්ෂ පාට භේදයකින් තොරව අවධානයට ලක් කළ යුත්තකි. අතීතයේ නැවත නැවත සිදු කළාක් මෙන් මෙයින්ද වෑයම් කරන්නේ, ජාතික ආරක්ෂාව, අපහාස කිරීම්, අයිතීන් ආරක්ෂා කිරීම් වැනි වචන ඉදිරියට දමමින් ප්‍රකාශනයේ, භාෂණයේ නිදහස මර්දනයට කරන්නට ය.
සියලු පුරවැසියන් විශ්වීය ලෝකයක සීමාමායිම් අතර සැරිසරන යුගමොහොතක මේ පණත යෝජනා කරන්නේ කුඩා දූපතක් තුළ මෙරට වැසියන් සිරකරන්නට ය.
යෝජනා කෙරෙන මෙවැනි ගර්හිත නීතිවලට ලොව ප්‍රධාන තාක්ෂණික සමාගම් අනුකූල වනු ඇතැයි ද අප වැනි කුඩා වෙළඳපොලක් සහිත රටකට කේවල් කිරීමේ අංශුමාත්‍ර බලයක්වත් තිබේද යන්න සලකා නොබලා මෙවැනි විහිළුසහගත පණත් ගෙන එන්නට වලිකමින් අනාගතයේ තොරතුරු තාක්ෂණ ලෝකයේ ජය කෙහෙළි නංවන්නට බලා හිඳීම දෙකොණ හිනා දල්වන්නක් බව ආණ්ඩුවේ නායකකාරකාදීන්ට මතක් කළ යුතු ය.
භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ අණ පණත්වලදී සෑම විටකදීම පැන නගින ගැටලුවක් වන්නේ සත්‍ය විනිශ්චය කිරීමයි. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කමිටුවක සමාජිකයන්ට සත්‍ය සහ අසත්‍ය අතර සීමාව නිර්ණය කිරීමට හැකිවන විශේෂඥභාවය ලැබෙන්නේ කෙසේ ද?
මෙරට දැනටමත් ICCPR වැනි පණතක් පවා අවභාවිත වෙද්දී මෙවැනි නිශ්චිත සීමාමායිම් දක්වාලිය නොහැකි පණතක් විරුද්ධවාදීන් මර්දනය පිණිස යොදා නොගනීය යන්නට දිය හැකි විශ්වසනීය සහතිකය කුමක්ද?
එක්තරා කාලයක “ගූග්ල් එපා, ඇමරිකන් පිටි එපා” කියමින් සිංහලෙන් තාප්පවල ලියාගෙන ගිය වීරවංශයානු වලිප්පුව සහ මේ අතර ඇති සමානකම තාක්ෂණ ලෝකයක් ගැන පාරම්බාන රනිල් වික්‍රමසිංහ පැහැදිලි කරන්නේ කෙසේ ද?
අපහාස, වෛරී ප්‍රකාශන, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබියදී මේ වැනි පණතක් කඩිමුඩියේ ගෙන එමින්, වසර 5ක ඉක්මවූ සිරදඬුවම් පවා පණවන්නට කෙටුම්පත් කරමින් ආණ්ඩුව මේ කැසකවන්නේ කුමක් ඉෂ්ට කරගන්න ද?
මේ වැනි පණත් තිබියදී තාක්ෂණික ආයෝජන මෙරටට පැමිණෙනු ඇතැයි සිහිබුද්ධියක් ඇති අයෙකුට සිතිය නොහැකි ය.
වෛරී ප්‍රකාශන, සංහිඳියාවට වන හානි, ප්‍රචණ්ඩත්වය, අපහාස වැනි කාරණා සම්බන්ධයෙන් දැනටමත් සමාජ මාධ්‍ය වේදිකා පරිපාලකවරුන් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාමාර්ග ගනු ලැබෙමින් තිබෙන බව සැවොම දන්නා කරුණකි.
උදාහරණයක් ලෙස ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වේදිකාව අසභ්‍ය වචනයක්, අසභ්‍ය පින්තූර, වෛරී ප්‍රකාශන පළ කළ නොහැකි ය. ඉතා සරල මට්ටමේ අසභ්‍ය ප්‍රකාශනයකදී පවා එහිදී සීමා පනවා අවවාද නිකුත් කර අවසන ගිනුම අවහිර කර දැමීම සිදුවෙයි. වෙනත් සෑම සමාජ මාධ්‍ය වේදිකාවකම පාහේ එවැනි සම්මතයන් ක්‍රියාත්මක වෙයි.
එසේ තිබියදී රට තුළ මෙවැනි අමුතුවෙන් යම් යම් නීති අණපණත් පැණවීම සිදුකරන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු ලෙස ලැබිය හැක්කේද ආණ්ඩුව ප්‍රකාශනය මර්දනයට කැසකවනවා යන්න මිස අනෙකක් නොවේ.
ප්‍රකාශනයේ නිදහස අතිශය ප්‍රජාතන්ත්‍රකරණය වූයේ මෑත දසක දෙකක පමණ කාලයකදීය. ප්‍රභූ සහ බුද්ධිමය කලාපයේ ස්තර කිහිපයකට පමණක් සීමා ව තිබූ ප්‍රකාශනයේ නිදහස සැබෑවටම පොදුජනයා වෙත විකසිත වූයේ සමාජ මාධ්‍ය ආගමනයෙන් පසුව ය.
මෙහිදී මෙම ප්‍රකාශනයේ ප්‍රජාතන්ත්‍රවාදය අත්විඳිමින් පොදුජනතාව සිය අවංක හැඟීම්, විරෝධයන් සහ ප්‍රකාශනයන් සමාජ මාධ්‍ය වේදිකාවල විකසිත කරමින් සිටිති. තම ජීවන ප්‍රශ්න පොදු වේදිකාවල කතා කරති. ආසන්න වශයෙන් ගත් කළ ප්‍රබල ජනාධිපතිවරයෙකුගේ නොමනා පාලනය හේතුවෙන්, එම ජනාධිපතිවරයාගේ පශ්චාත්භාගයට පයින් ගසා එළවා දැමීමට ජනරාශි කිරීමටද ප්‍රබල වේදිකාවන් වූයේ මෙම නව මාධ්‍ය වේදිකා බව අමුතුවෙන් කිව යුතු නොවේ.
පෙර කී පරිද්දෙන්, පොදු ජනතාව සිය අවංක හැඟීම් සහ විරෝධයන් සමාජ මාධ්‍යවල පළ කිරීමේ උදාහරණ මෑත කාලයේ අපට ඕනෑ තරම් තිබේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සජීවී ලෙස ෆේස්බුක් පැමිණි පසු ජනතාව සිය අදහස් පළ කිරීම එහි ප්‍රබලම උදාහරණයයි. නාමල් රාජපක්ෂ, එස්.එම්. චන්ද්‍රසේන, විමලවීර දිසානායක වැනි දේශපාලකයන් මෙම තත්වය ගැන එළිපිටම විවේචනය කළ අතර මේ පණත සහ දේශපාලකයන්ගේ මේ රිදවාගැනීම් අතර ඇත්තේ අනිවාර්ය සම්බන්ධයකි.
ජනවිරෝධයන් වැළැක්වීමටත්, ජනඅරගල මොට කර දැමීමටත් අවශ්‍ය පරිදි කෙටුම්පත් කර ගෙනැවිත් තිබෙන මේ මර්දනකාරී සමාජ මාධ්‍ය නියාමන පණතට එරෙහිව ක්‍රියාකිරීමට කිසිදු කොන්දේසියකින් තොරව සියලු දෙනා එක් විය යුතු ය.
පුරවැසියන් ලෙස හිස නගා ජීවත් වීමේ නිදහස වැටී තිබෙන්නේ, භාෂණයේ, ප්‍රකාශනයේ, චින්තනයේ නිදහසේ මාවත මතිනි. මෙය ඉතා බරපතළ කරුණක් ලෙස ගෙන සියලු පාර්ශ්ව මැදිහත් වී මේ ගෝත්‍රික පණත පරාජය කිරීම හදිසියේ කළ යුතු කටයුත්තකි.
මෙවැනි අශිෂ්ට පණත් රටට කෙටුම්පත් කරන අතර, නිව්යෝක් සංචාරයේදී මෙටා සමාගමේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රඟදක්වන්නේ හක්කේ බුදු රැස්-බොක්කේ දඩමස් නාටකයක් බව අවසාන වශයෙන් සටහන් කර තබමු.
- සඳුන් ප්‍රියංකර විතානගේ