කච්චතිව් ආපහු දෙන්න වෙයි ද?

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පවරා දී තිබෙන කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ දී කතාබහක් ඇතිව තිබෙනවා. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදිගේ රජයට එරෙහිව පැවති විශ්වාසභංග විවාදය අතුරතුරයි.

ඉන්දු – ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබාගන්නා ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය තමාට දිගින් දිගට ම බලපෑම් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එහිදී පවසා තිබෙනවා. නමුත් දූපත තම රටට අහිමි වී සම්බන්ධයෙන් ඔහු එහිදී චෝදනා කළේ කොංග්‍රස් පක්ෂයටයි. එම පක්ෂය ඉන්දියාව කැබලි කර දැමූ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

කච්චතිව් දූපත දැන් එරට දේශපාලනයේ තුරුම්පුවක් බවට පත්ව ඇති බව පෙනෙන බව දේශපාලන විචාරකයන් පවසනවා. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි අක්කර 285ක දූපතක් වන කච්චතිව් 1974දී හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබුවා. දැන් ඩී.එම්.කේ. පක්ෂයට පහර දීම සඳහා මෙම තීරණය හේතුවක් කරගෙන තිබෙනවා.

කච්චතිව් අවට ඉන්දීය ධීවරයන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නේ මුහුදු සීමා උල්ලංඝනය වීම හේතුවෙන්. මෙය තමිල්නාඩු පාලනයට හිසරදයක්ව ඇති බව පැවසෙනවා. ඒ හේතුවෙන් තමිල්නාඩු පාලකයන් ඉන්දීය මධ්‍යම රජයට දූපත සම්බන්ධයෙන් බලපෑම් කරන බවයි පැවසෙන්නේ. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අර්බුදයකට ගොස් ඇති ඉන්දියාවේ උදව් ඉතා අවශ්‍ය මොහොතක සිටින මේ අවස්ථාවේ කච්චතිව් දූපත නැවත ලබා ගැනීමට උත්සාහයක් ගැනේද යන්න දේශපාලන ලෝකයේ කතාබහට ලක්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles